යුද හමුදාව සහ නාවික හමුදාව අවසන් මහා සටනට

ආරක්ෂක සේවා පාපන්දු තරගාවලිය 2023

298

2023 ආරක්ෂක සේවා පාපන්දු තරගාවලියේ ලීග් වටය අවසානයේ ප්‍රථම සහ දෙවැනි ස්ථාන දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ ලීග් වටය අවසානයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගය

තරගාවලියේ ප්‍රථම තරගය ලෙස පසුගිය 3 වැනිදා පැවැත්වූ මෙම තරගයෙන් ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට නාවිකයින් සමත් වුනා.

පළමු අර්ධයේ 42 වැනි මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩක මනරම් පෙරේරා පළමු ගෝලය වාර්තා කරන්නට සමත් වූ අතර පළමු අර්ධයේ අතිරේක කාලයේ දී ජ්‍යේෂ්ඨ ක්‍රීඩක නාගූර් මීරා විසින් නාවික හමුදාව වෙනුවෙන් වාර්තා වූ දෙවැනි ගෝලය සඳහා හිමිකම් කීවා.

ගෝල දෙකක් පිටුපසින් සිට දෙවැනි අර්ධය ආරම්භ කළ ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් 54 වැනි මිනිත්තුවේ දී මැදපෙළ (Mid Field) සිට වේගවත් ප්‍රහාරයකින් ඉතා විශිෂ්ට ගෝලයක් ලබා ගැනීමට ඉෂාන් ප්‍රනාන්දු සමත් වුනා.

ඉන්පසු ගුවන් හමුදා ක්‍රීඩකයින්, වැඩි වේලාවක් පන්දුව ඔවුන් සතුව තබාගෙන, දෙවැනි ගෝලය වෙනුවෙන් කිහිප වතාවක්ම උත්සාහ කළ නමුත්, ඒ කිසිවක් සාර්ථක වූයේ නැහැ.

නියමිත කාලය අවසන් වන විට ගෝල 2-1ක් ලෙස තරගයේ පෙරමුණ ගත් නාවික හමුදා ක්‍රීඩකයින් මෙවර තරගාවලියේ වාර්තා වූ ප්‍රථම ජයග්‍රහණය සඳහා හිමිකම් කියන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකා ගුවන් හමුදාව 01 – 02 ශ්‍රී ලංකා නාවික හමුදාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්:

  • ගුවන් හමුදා – ඉෂාන් ප්‍රනාන්දු 54’
  • නාවික හමුදා – මනරම් පෙරේරා 42, නාගූර් මීරා 45+3’

 

යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර තරගය

ලීග් තරග වටයේ දෙවැනි තරගය ලෙස පසුගිය 6 වැනිදා පැවැත්වුණු මෙම තරගය ගෝල 1-1ක් ලෙස සමව නිමාවට පත්වුනා.

තරගය ආරම්භ වී මිනිත්තු 25කට පසු, ගුවන් හමුදා ක්‍රීඩකයින් අතර සිදු වුන පන්දු හුවමාරු කීපයකට පසුව, ලක්මාල් ගුණසිංහ තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කරන්නට සමත් වුනා.

එම ගෝලයෙන් මිනිත්තු කිහිපයකට පසු යුද හමුදාවට දඬුවම් පහර අවස්ථාවක් ලැබුණු අතර, රිෆ්කාන් මොහොමඩ් ලබා ගත් එම පහර විශිෂ්ට ලෙස නතර කිරීමට ගුවන් හමුදා ගෝල රකින ක්‍රීඩක රුවන් අරුණසිරිට හැකි වුනා.

කෙසේ නමුත් පළමු අර්ධයේ අවසන් මොහොතේ දී රිෆ්කාන් විසින් තම කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ ප්‍රථම ගෝලය එල්ල කරමින් ලකුණු තත්වය සම කිරීමට සමත් වුනා.

දෙවැනි අර්ධයේ දී කණ්ඩායම් දෙකම විසින් ගෝලයක් වාර්තා කිරීම වෙනුවෙන් දැඩි උත්සාහයක නියැළුනත්, ඒ කිසිදු අවස්ථාවක් සාර්ථක නොවීම හේතුවෙන් තරගය ගෝල 1-1ක් ලෙස සමව නිමාවට පත්වුනා.

අවසන් ලකුණු තත්වය:  ශ්‍රී ලංකා යුද හමුදා 01 – 01 ශ්‍රී ලංකා ගුවන් හමුදා

ගෝල රැස් කළ ක්‍රීඩකයින්:

  • යුද හමුදාව – රිෆ්කාන් මොහොමඩ් 45’
  • ගුවන් හමුදාව – ලක්මාල් ගුණසිංහ 27’

නාවික හමුදාව සහ යුද හමුදාව අතර තරගය

තරගාවලියේ අවසන් ලීග් තරගය ලෙස පැවැත්වූ මෙම තරගයෙන් ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් වුනා.

ගෝල රහිතව අවසන් වූ පළමු අර්ධයෙන් පසුව දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 5ක් ගතවීමට පෙර යුද හමුදා නායක අසිකුර් රහුමාන්, රිෆ්කාන් මොහොමඩ් සහ මදුශාන් ද සිල්වා අතර සිදු වූ පන්දු හුවමාරුවකින් පසුව මදුශාන් විසින් සාර්ථකව පන්දුව ගෝලය තුලට එල්ල කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනා.

ඉන්පසුව යුද හමුදා නායක අසිකුර් විසින් අලංකාර ලෙස පන්දුව හිසින් ගෝලය තුලට යොමු කරමින් දෙවැනි ගෝලය වාර්තා කරන්නට සමත් වූ අතර ගෝල 2-0ක් ලෙස නියමිත කාලය අවසන් වුනේ ජයග්‍රහණය යුද හමුදාව සතු වෙමිනුයි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකා නාවික හමුදාව 00 – 02 ශ්‍රී ලංකා යුද හමුදාව

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

  • යුද හමුදාව: මදුශාන් ද සිල්වා, අසිකුර් රහුමාන්

ඒ අනුව සියලු ලීග් තරග අවසානයේ දී ප්‍රසාද ලකුණු 4ක් ලබා ගත් යුද හමුදාව සහ ප්‍රසාද ලකුණු 3ක් ලබා ගත් නාවික හමුදාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා විට, එක් ප්‍රසාද ලකුණක් පමණක් ලබා ගත් ගුවන් හමුදාවට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

තරගාවලියේ කාන්තා අංශයේ ප්‍රථම සහ දෙවැනි ස්ථාන දිනා ගත් නාවික හමුදා සහ යුද හමුදා කණ්ඩායම් කාන්තා අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනිද්දී, ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වන්නට සිදු වුනා.

කාන්තා අංශයේ තරග ප්‍රතිඵල

  • ශ්‍රී ලංකා නාවික හමුදා 02 – 02 ශ්‍රී ලංකා ගුවන් හමුදා
  • ශ්‍රී ලංකා ගුවන් හමුදා 00 – 01 ශ්‍රී ලංකා යුද හමුදා
  • ශ්‍රී ලංකා යුද හමුදා 00 – 02 ශ්‍රී ලංකා නාවික හමුදා

තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන මැයි 22 වැනිදා කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර එහි කාන්තා අවසන් මහා තරගය (නාවික සහ යුද හමුදා) උදෑසන 8:30 සිට සහ පිරිමි අවසන් මහා තරගය (නාවික සහ යුද හමුදා) එදින පස්වරු 2:30ට පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<