ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවයි

321

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කර තිබෙනවා.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 වගන්ති යටතේ මෙලෙස පාපන්දු සම්මේලනය තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

“ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ වන මම, 1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 (ආ) සහ 33 වගන්ති යටතේ මා වෙත පවරා ඇති බලතල ප්‍රකාර ව පාපන්දු ක්‍රීඩාව සඳහා වන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවනු ලබනවා.

තාවකාලික කාර්යය ක්‍රමයක් වශයෙන් එකී ජාතික ක්‍රීඩා සංගම්/ සම්මේලනයන්හි පරිපාලන සහ වෙනත් යම් අවැසි කටයුතු සහ අදාළ නිලවරණයන් කැඳවීමට හා පැවැත්වීමටත් එතෙක් යථායෝ‍ග්‍ය අයුරින් ඉටු කිරීමට උදෙසා 2023 අප්‍රේල් මස 04 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා ලෙස මෙයින් පත් කරමි,” එම ගැසට් නිවේදනයේ සඳහන් වුනා.

මෑත කාලයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගැටලු රැසකට මුහුණ දුන් අතර එහි පරිපාලන සහ නිලවරණ කටයුතු ආශ්‍රිතව සිදු වූ ගැටලු නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කිරීමට ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය කටයුතු කළා.

පසුව පාපන්දු සම්මේලනයේ කටයුතු විමර්ශනය කර විශේෂ වාර්තාවක් සකස් කිරීමට විමර්ශන කමිටුවක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ අතර එම වාර්තාව ඊයේ (04) ක්‍රීඩා අමාත්‍යවරයාට භාර දුන්නා.

දේශීය පාපන්දු පිටියේ මෙන්ම ජාත්‍යන්තර පාපන්දු පිටියේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<