මෙරට පාපන්දුවේ මූල්‍ය දූෂණ ගැන හෙළිදරව් කරයි

258

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලන සහ මුදල් විමර්ශනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව අද (04) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට භාර දීම සිදු කෙරුණා.

එම වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයාට ලබා දීමෙන් පසු එය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දීයි.

මීට මාසයකට පමණ පෙර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එම පංච පුද්ගල විමර්ශන  කමිටුව නම් කළ අතර විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මැතිනිය සභාපති ලෙස කටයුතු කළ එම කමිටුවට කිංස්ලි ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුගත් නාගාමුල්ල මහතා, විශ්‍රාමික රිය අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සහ හිටපු ක්‍රීඩක සුසිල් රෝහණ මහතා ඇතුළත් වුනා.

එහි දී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

“පාපන්දු සංගමය සම්බන්ධව, එම ක්‍රියාකාරකම් සම්බන්ධව සහ ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය ගැන නිර්දේශයක් මෙම වාර්තාව සමඟ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.

මට මේ වාර්තාව ලබා දෙන ගමන් කමිටු සභාපතිවරිය පැහැදිලි කළේ සංගමයේ වංචා දූෂණ 30කට වඩා ගණනක් තියෙනවා කියලා. ඒ වගේම ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් 2%ක් වත් වියදම් කරලා නැහැ.

ඒ වගේම මිලියන 100ක තැන්පතුවක් අරගෙන මැලේසියා සංචාරයක් ගිහින් තියෙනවා පරිපාලකයින්. පාපන්දු ඇතුළු ප්‍රධාන ක්‍රීඩා සියල්ල ආපස්සට ගිහින් මිසක් කිසිම එකක් ඉස්සරහට ඇවිත් නැහැ.

ක්‍රීඩාව හදන්න නම් අපිට වංචාව දූෂණය ක්‍රීඩාවෙන් අයින් කරන්න වෙනවා. මම මේ වාර්තාව අධ්‍යනය කරලා ඉදිරි පියවරන් ඉතා ඉක්මනින් ගන්නවා.”

මෙම විමර්ශන කමිටුව 2014 වසරේ සිට අධ්‍යනය කිරීමෙන් පසු මෙම වාර්තාව සකසා ඇති බවත්, එහි සඳහන් දූෂණවලට එරෙහිව හැකි ඉක්මනින් දැඩි පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දේශීය පාපන්දු පිටියේ මෙන්ම ජාත්‍යන්තර පාපන්දු පිටියේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<