2023 SAFF සත්කාරකත්වය ඉන්දියාවට

දකුණු ආසියානු පාපන්දු ශූරතාවය 2023

220

ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු පාපන්දු ශූරතාවයේ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

තරගාවලියේ සත්කාරකත්වය මීට පෙර නේපාලයට හිමිව තිබුනත්, තරගාවලිය ඉන්දියාවට නිල වශයෙන් ලබා දීමට තීරණය කළ බව දකුණු ආසියානු පාපන්දු සම්මේලනය පසුගිය දා නිවේදනය කළා.

තරගාවලියේ අලෙවිකරණ සහ වාණිජ අයිතිවාසිකම් සඳහා ඉදිරිපත් වූ ටෙන්ඩර් සලකා බැලීමෙන් අනතුරුව Sports Partner International ආයතනයට එය ලබා දීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කළ අතර එය වසර 4ක කාලයක් සඳහා වලංගු වෙනවා.

එම ආයතනය සහ තරගාවලියේ අනුග්‍රාහකයින්ගේ ඉල්ලීම නිසා තරගාවලිය ඉන්දියාවට ගෙන යාමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය කටයුතු කර ඇති බව ද මාධ්‍ය වාර්තා කර සිටිනවා.

තරගාවලියේ සත්කාරකත්වය සඳහා නේපාලයට අමතරව 2021 වසරේ පැවති සැසිවාරයක දී ශ්‍රී ලංකාව ද සිය කැමැත්ත ප්‍රකාශ කර තිබුනත්, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබෙන තහනම නිසා ශ්‍රී ලංකාව එම සත්කාරක ලංසු තැබීමෙන් ඉවත් කර තිබුණා.

එමෙන්ම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය ද මෙම තහනම නිසා අවිනිශ්චිතව තිබෙන අතර අදාළ දිනයන්ට පෙර තාවකාලික තහනම ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට හැකි වුවහොත් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය නියෝජනයට අවස්ථාව හිමි වෙනවා.

1993 වසරේ ආරම්භ කළ මෙම තරගාවලිය අවසන් වරට 2021 වසරේ මාලදිවයිනේ දී පැවැත්වූ අතර එහි ශූරතාවය දිනා ගනිමින් අටවැනි වතාවටත් දකුණු ආසියානු පාපන්දු කිරුළ දිනා ගැනීමට ඉන්දියාව සමත් වුනා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<