දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාවේ සැලසුම් ගිල දමයි

ICC World Cup 2023

3535

13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම පළමු තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකන්ට දකුණු අප්‍රිකාව හමුවේ අනපේක්ෂිත ප්‍රහාරයකට ලක් වීමට සිදු වූ අතර ඒ හේතුවෙන් ම තරගයෙන් ලකුණු 102ක පරාජයකට ද මුහුණ දීමට සිදු වුනා.

තරගය Delhi හී Arun Jaitley ක්‍රීඩාංගණයේ දී නිමා වෙන්නේ එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ සේ ම එක් එක් කණ්ඩායම්වල වාර්තා කිහිපයක් ම අලුත් වෙමින්. මේ අතරට කෝඩුකාර වාර්තාවන් රැසක් ම කලඑළි බහින අතර ඔවුන්ගේ දක්ෂතාම හේතුවෙන් ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වාර්තා වීම විශේෂයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය

4 වැනි තරගය (දිවා/රාත්‍රී) Delhi, ඔක්තෝබර් 07, 2023, ICC Cricket World Cup

කාසියේ වාසිය – ශ්‍රී ලංකාව

තරගයේ වීරයා – Aiden Markram (දකුණු අප්‍රිකාව)

  • දකුණු අප්‍රිකාව – කඩුලු 5ක් දැවී 428 (50) Quinton de Kock 100, Rassie van der Dussen 108, Aiden Markram 106, Heinrich Klaasen 32, David Miller නොදැවී 39, ඩිල්ශාන් මධුශංක 2/86
  • ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 326 (44.5) කුසල් මෙන්ඩිස් 76, සදීර සමරවික්‍රම 23, චරිත් අසලංක 79, දසුන් ශානක 68, කසුන් රාජිත 33, Marco Jansen 2/92, Kagiso Rabada 2/50, Keshav Maharaj 2/62, Gerald Coetzee 3/68

දකුණු අප්‍රිකාවට ලකුණු 102ක ජයක්.

428/5: දකුණු අප්‍රිකාව මෙම තරගයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 428ක් ලබා ගන්නා ලද අතර එය එතෙක් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ එක් කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත්වුනා.

ඊට පෙර මෙම වාර්තාවේ හිමිකාරීත්වය තිබුණේ ඕස්ට්‍රේලියාව සතුවයි. ඔවුන් 2015 වසරේ පැවති ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව Perth ක්‍රීඩාංගණයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 417ක් ලබා ගනිමින් මේ වාර්තාවේ රැදී සිටියා.

මේ වෙද්දී මෙම වාර්තාවේ තෙවැනි ස්ථානය 2007 වසරේ දී බර්මුඩාවට එරෙහිව Port of Spain හි දී කඩුලු 5කට ලකුණු 413ක් වාර්තා කළ ඉන්දියාව සතු කරගෙන සිටිනවා.

vs SL: එමෙන් ම ජාත්‍යන්තර එක්දින තරගවල දී ශ්‍රී ලංකාවට එරෙහිව කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද මෙම ඉනිමත් සමඟින් දකුණු අප්‍රිකානුවෝ සතු කර ගත්තා.

ඊට පෙර මෙම වාර්තාවේ හිමිකාරීත්වය තිබුණේ ඉන්දියාව සතුවයි. ඒ 2009 වසරේ දී Rajkot හි දී කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු 414යි.

+400x3: ලෝක කුසලාන ඉතිහාසයේ මේ දක්වා ලකුණු 400ක් ඉක්මවා ඇත්තේ අවස්ථා 5ක දී පමණක් වන අතර ඉන් අවස්ථා 3ක් ම සතු කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වෙනවා.

ඔවුන් මීට පෙර 2015 වසරේ දී අර්ලන්තයට එරෙහිව Canberra හි දී කඩුලු 4ක් දැවී ලකුණු 411ක් ද සහ එම වසරේ දී ම Sydney හි දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 5ක් දැවී ලකුණු 411ක් ද ලබා ගන්නවා.

මෙම ලැයිස්තුවේ ඔවුන්ට අමතරව 2015 වසරේ දී Perth හිදී ඇෆ්ගනිස්තායට එරෙහිව ලකුණු 417ක් ලබා ගත් ඕස්ට්‍රේලියාව ද සහ 2007 වසරේ දී Port of Spain හි දී බර්මුඩා කණ්ඩායමට එරෙහිව කඩුලු 5කට ලකුණු 413ක් ලබා ගත් ඉන්දියාව ද රැඳී සිටිනවා.

400+: දකුණු අප්‍රිකාව මෙම තරගයේ දී ද ලකුණු 400 සීමාව පසු කිරීමත් සමඟින් ලෝක එක්දින තරග ඉතිහාසයේ වැඩිම වාර ගණනක් එම දක්ෂතාව කළ කණ්ඩායමේ වාර්තාව තව දුරටත් දිගු කර ගත්තා. ඔවුන් මේ වන විට  අවස්ථා 8ක දී එම සීමාව පසුකර තිබෙනවා.

ඔවුන්ගේ එම ලැයිස්තුව සැකසෙන්නේ 439/9 (බටහිර ඉන්දීය කොදෙව්, 2015), 438/9 (ඕස්ට්‍රේලියාව, 2006), 438/4 (ඉන්දියාව, 2015), 428/5 (ශ්‍රී ලංකාව, 2023), 418/5 (සිම්බාබ්වේ, 2006), 416/5 (ඕස්ට්‍රේලියාව, 2023),  411/4 (අයර්ලන්තය, 2015) සහ 408/5 (බටහිර ඉන්දීය කොදෙව්, 2015) ලෙසයි.

මෙහි දෙවැනි ස්ථානය අවස්ථා 6ක දී එම දක්ෂතාව කළ ඉන්දියාව ද සහ තෙවැනි ස්ථානය අවස්ථා 5ක දී එම දක්ෂතාව කළ එංගලන්තය ද සතු වෙනවා.

100×3: ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශතක 3ක් රැස් කරන ලද එක ම තරගය මෙය බවට ද පත් වූවා.

  • Quinton de Kock – 100 (පන්දු 84, 12 x 4s, 3 x6s)
  • Rassie van der Dussen – (පන්දු 110, 13 x 4s, 2 x6s)
  • Aiden Markram -106 (පන්දු 54, 14 x 4s, 3 x6s)

මෙම ශතක ත්‍රිත්වයත් සමඟින් ලෝක එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක පිතිකරුවන් තිදෙනෙක් ශතක ලබා ගත් තෙවැනි අවස්ථාව වාර්තා කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වීම ද කැපී පෙනුණා.

ඔවුන් මීට පෙර 2015 වසරේ  බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව Johannesburg හි දී පැවති තරගයේ දී Hashim Amla (153*), Rilee Rossouw (128) සහ AB de Villiers (149) එක්ව ද සහ එම වසරේ දී ම ඉන්දියාවට එරෙහිව Wankhede  ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී Quinton de Kock (109),  Faf du Plessis (133) සහ AB de Villiers (119) විසින් ද ශතක ලබා ගනිමින් මෙම වාර්තාවට දායක වෙනවා.

100: මෙම තරගයේ දී දකුණු අප්‍රිකාවන් විසින් වාර්තා කරන ලද ශතක ත්‍රිත්වය ම කෝඩුකාර ශතක වීම තවත් විශේෂත්වයක් වුනා.

ඒ අනුව 2015 වසරේ සිට මේ දක්වා වූ ලෝක කුසලාන තරග 18කට සහභාගී වී සිටි Quinton de Kock , 2019 වසරේ සිට ලෝක කුසලාන තරග 10කට සහභාගී වී ඇති Rassie van der Dussen සහ 2019 වසරේ සිට ලෝක කුසලාන තරග 9කට සහභාගී වී ඇති Aiden Markram ගේ ද මංගල ලෝක කුසලාන ශතක වූයේ මෙයයි.

49: Aiden Markram විසින් රැස් කරන ලද ශතකය ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත් ම ශතකය ලෙසින් ද වාර්තා පොත් අතරට එක් වුනා. ඔහු තම ශතකය වෙනුවෙන් වැය කළේ පන්දු 49ක් පමණයි.

ඊට පෙර මෙම වාර්තාවේ හිමිකාරීත්වය සතු කරගෙන සිටියේ අයර්ලන්තයේ Kevin O’Brien. ඔහු එංගලන්තයට එරෙහිව 2011 වසරේ දී පන්දු 50කින් තම ශතකය වාර්තා කළා.

204: මෙම තරගයේ දී දකුණු අප්‍රිකා පළමු කඩුල්ලට Quinton de Kock සහ Rassie van der Dussen එක් ව ලකුණු 204ක සබඳතාවක් ගොඩ නගනවා. එය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වන ඉහළ ම සබඳතාවයි.

ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ 2017 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ දී Quinton de Kock (109) සහ Hashim Amla (154) එක් ව පළමු කඩුල්ලට එක් කළ ලකුණු 187යි.

754: ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරගයක දී කණ්ඩායම් දෙකක් එක් ව වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ එකතුවේ වාර්තාව ද මෙම තරගය සතු කර ගන්නවා.

මීට පෙර එම වාර්තාවේ රැඳී සිටියේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශයයි. ඒ 2019 වසරේ දී Trent Bridge හි පැවති තරගයේ දී ඕස්ට්‍රේලියාව කඩුලු 5කට ලකුණු 381ක් ලබා ගනිමින් ද සහ බංග්ලාදේශයට කඩුලු 8කට ලකුණු 333ක් ද ලෙසින් ලබා ගනිමින් වූ ලකුණු එකතුව 714යි.

එහි තෙවැනි ස්ථානයේ ද ශ්‍රී ලංකාව සිටිනවා. ඒ 2015 දී Sydney හි දී පැවති ඕස්ට්‍රේලියාව සමඟ තරගයේ දී වාර්තා කරන ලද ලකුණු 688 හේතුවෙන්. එහි දී ඕස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 376ක් ලබා ගන්නා ලද අතර ශ්‍රී ලංකාව සියලුම දෙනා දැවී ලකුණු 312ක් ලබා ගන්නවා.

105: මෙම තරගයේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ හතරේ පහර 45ක් සහ හයේ පහර 14ක් ද සහ ශ්‍රී ලංකාව හතරේ පහර 29ක් සහ හයේ පහර 17ක් ලෙසින් සීමා පහරවල් එකතුව 105ක් එල්ල කරමින් ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් විසින් එල්ල කරන ලද වැඩිම සීමා පහරවල්වල වාර්තාව ද සතු කර ගත්තා.

ඊට පෙර මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව ද රැඳී සිටීම විශේෂත්වයක් ගත්තා. ඒ 2015 වසරේ දී Sydney හි දී ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයේ දී එල්ල කරන ලද හතරේ පහර සහ හයේ පහර එකතුව 82ක් ව තබා ගනිමින්.

එහි දී ඕස්ට්‍රේලියාව හතරේ පහර 38ක් සහ හයේ පහර 8ක් ද ශ්‍රී ලංකාව හතරේ පහර 34ක් සහ හයේ පහර 2ක් ද එල්ල කරනවා.

31X6s: මෙම තරගයේ දී දෙපිලේ ම ක්‍රීඩකයෝ හයේ පහර 31ක් වාර්තා කරන ලද අතර එය ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක දී වාර්තා වූ වැඩිම හයේ පහර අතර දෙවැනි ස්ථානයේ සම ව අසුන් පැනවෙනවා. එහි අනික් කණ්ඩායම් වන්නේ නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වනුයි. ඔවුන් 2015 වසරේ පැවති ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ දී Wellington හි දී මේ දක්ෂතාව දක්වනවා.

මෙහි පළමු ස්ථානය හිමි වෙන්නේ 2019 වසරේ දී Manchester හි දී පැවැති එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේ දී වාර්තා වූ හයේ පහර 33යි.

50+: මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක 3ක් වාර්තා වූ අතර එය ලෝක කුසලාන තරග අතර සටහන් වෙන්නේ ඒ ඒ ක්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලියක වාර්තා කරන ලද මංගල අර්ධ ශතක ලෙසයි.

ඒ අනුව කුසල් මෙන්ඩිස් (76), චරිත් අසලංක (79) සහ දසුන් ශානක (68) මේ ගොඩට එකතු වුනා.

80+: ශ්‍රි ලංකා පන්දු යවන්නෝ සිව්දෙනෙක්ට ම මෙම තරගයේ දී ලකුණු 80 සීමාව ඉක්මවමින් ප්‍රතිවාදීන් ලකුණු ලබා ගත්තා. ඒ කසුන් රාජිත 1/90 (10), ඩිල්ශාන් මධුශංක 86/2 (10), මතීෂ පතිරණ 1/95 (10) සහ දුනිත් වෙල්ලාලගේ 1/81 (10) ට එරෙහිවයි. ඒ අනුව ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු 428න් ලකුණු 352ක් ම ලබා දෙන්නේ ඔවුන් විසින්.

මෙය ලෝක එක්දින තරග ඉතිහාසයේ එවන් ප්‍රහාරයකට ලක් වූ දෙවැනි අවස්ථාවයි. ඊට පෙර 2022 වසරේ දී නෙදර්ලන්තයේ පන්දු යවන්නෝ සිව් දෙනෙක් ද එංගලන්තය හමුවේ එවන් ප්‍රහාරයකට ලක් වුනා. එහි දී එංගලන්තය වාර්තා කළ ලකුණු 498න් ලකුණු 372ක් ඔවුන් විසින් ලබා දෙනවා.

මේ අතරින් චරිත් අසලංක සහ දසුන් ශානක තම මංගල අර්ධ ශතක වාර්තා කරන්නේ තමන්ගේ මංගල ලෝක කුසලාන තරගයේ දී වීමත් විශේෂයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<