Jadejaට අසාධාරණයක් වුනා ද?

India Tour of West Indies 2023

1717

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී අර්ධ ශතකයක් ලබා සිටි Ravindra Jadejaගේ දැවී යාම සම්බන්ධ විනිසුරු තීරණය පිළිබඳ යම් ගැට‍ලුවක් මතු වුනා.

ඊයේ (21) තරගයේ දෙවැනි දිනය වූ අතර එහි දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමි සිටි ඉන්දීය ඉනිමේ 104 වැනි පන්දුවාරයේ දී Kemar Roach විසින් යොමු කළ පන්දුවක්, එවිට ලකුණු 61ක් ලබා සිටි Ravindra Jadejaගේ පිත්තේ පිටත අග්‍රය අසලින් ඇදී ගොස් කොදෙව් කඩුලු රකින ක්‍රීඩක Joshua Da Silvaගේ අතේ රැඳුණා. 

එකෙනෙහිම පන්දු යැවූ Roach සහ පන්දුව රැක ගත් Silva යන දෙදෙනා ම තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ Marais Erasmus වෙතින් උඩපන්දුවක් රැක ගැනීමක් වෙනුවෙන් ඉල්ලීමක් සිදු කළා. නමුත් Erasmus වෙතින් එයට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු අතර ඒ අනුව කොදෙව්වන් විසින් විනිසුරු තීරණයට අභියෝග කරමින් තෙවැනි විනිසුරුගේ සහය පැතුවා. 

තරගයේ තෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ Michael Gough විසින් එම තීරණය පියවි ඇසින් නිරීක්ෂණය කිරීම තීරණයක් ලබා දීමට ප්‍රමාණවත් නොවන බැවින් පන්දුව පිත්තේ වැදුණා ද නැද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා UltraEdge තාක්ෂණය උපයෝගී කර ගත්තා. 

නමුත් මෙහි දී UltraEdge අවස්ථාවේ දකින්නට ලැබුණු පුනරූපණය සහ සැබෑ අවස්ථාවේ Jadeja විසින් එල්ල කළ පහරේ යම් වෙනසක් තිබූ බවයි පසුව දකින්නට ලැබුණේ. 

සැබෑ අවස්ථාවේ Jadeja විසින් පහර එල්ල කරන පන්දුව කඩුල්ලට තරමක් ඈතින් තිබූ අතර ඔහුගේ පිත්ත ද සිය පා ආවරණයෙන් තරමක් ඈතින් තිබුණා. නමුත් UltraEdge හරහා දක්නට ලැබුණු පුනරූපණයේ දී ඔහුගේ පිත්ත සිය පා ආවරණයට ඉතා ආසන්න ලෙසින් දිස් වූ අතර, පිත්ත සහ පා ආවරණය එකිනෙක ගෑවෙන බවක් ද පෙනෙන්නට තිබුණා. 

කෙසේ වෙතත් පන්දුව සහ පිත්ත අතර ද යම් ඝට්ටනයක් සිදු වූ බව UltraEdge හරහා තහවුරු වූ අතර තෙවැනි විනිසුරු විසින් Erasmusගේ තීරණය දැවී යාමක් ලෙස වෙනස් කරන ලෙස දැනුම් දුන්නා. 

ඒ අනුව පන්දු 152ක් තුළ ලකුණු 61ක් ලබා ගත් Jadejaගේ ඉනිම එතෙකින් නිමා වුනා. 

පසුව Curtly Ambrose, Samuel Badree සහ Daren Ganga විසින් මෙම දැවීයාම පුනරූපණය වන අවස්ථාවක එම මතභේදකාරී දැවීයාම පිළිබඳ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළා. 

“මේ තමයි සත්‍ය පුනරූපණය, පිත්ත සහ පා ආවරණය අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. මේ තමයි නිවැරදි UltraEdge එක. අවසානයේ නිවැරදි තීරණය ලබාගත්තා. ඒ තමයි වැදගත් ම දේ.” 

එය විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ (DRS) ක්‍රියාවලියේ සිදු වූ දෝෂයක් මිස තෙවැනි විනිසුරු විසින් ලබා දුන් තීරණයේ වරදක් නොවන බවයි ඔවුන් විසින් අවධාරණය කළේ. 

මෙම තරගයේ පළමු ඉනිම දියත් කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 438ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස ඊයේ දිනය අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 86ක් ලබා ගැනීමට සමත් වී තිබුණා. 

ඉන්දියා-කොදෙව් ක්‍රිකට් ගැටුම පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<