Bas – නොට්ටිගෙ පුතා

ICC World Cup 2023

3149
Bus De Leede

තාත්තා කළ දේ පුතා නොකළොත් සිංහල ජන වහරේ දී කියන්නේ ඒකා නොට්ටිගෙ පුතා කියලයි. මේ කතාවට කදිම උදාහරණයක් ඊයේ (06) නිමා වූ ලෝක කුසලාන දෙවැනි තරගය වූ පාකිස්තානය සහ නෙදර්ලන්ත අතර තරගයේ දී සිදු වුනා.  

Hyderabad, Rajiv Gandhi ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී නෙදර්ලන්තයේ Bas de Leede, මීට දශක 2කට එපිට දී තම පියා වූ Tim de Leede ලෝක කුසලාන තරගයක දී කළ දක්ෂතාව ම නැවත ප්‍රතිනිර්මාණය කළා.  

  • පාකිස්තාන සහ නෙදර්ලන්ත අතර තරගය

දෙවැනි තරගය (දිවා/රාත්‍රී) Hyderabad, ඔක්තෝබර් 06, 2023, ICC Cricket World Cup 

කාසියේ වාසිය – නෙදර්ලන්තය 

පාකිස්තානය – සියලුම දෙනා දැවී 286 (49) Mohammad Rizwan 68, Saud Shakeel 68, Mohammad Nawaz 39, Shadab Khan 32,  Colin Ackermann 2/39, Bas de Leede 4/62 

නෙදර්ලන්තය – සියලුම දෙනා දැවී 205 (41) Vikramjit Singh 52, Bas de Leede 67, Logan van Beek 28, Hasan Ali 2/33, Haris Rauf 3/43 

පාකිස්තානය ලකුණු 81ක ජයක්.  

එදා 2003 වසරේ දී දකුණු අප්‍රිකාවේ Paarl හී Boland Bank ක්‍රීඩාංගණයේ දී  තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් පැවති ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර තරගයේ දී Tim de Leede ලකුණු 35කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර මෙදා ඔහුගේ පුත් Bas de Leede පාකිස්තානයට එරෙහිව ලකුණු 62කට කඩුලු 4ක් දවා ගත්තා.  

මේ පිය පුතු දෙදෙනා ම දකුණතින් මද වේගපන්දු යවන්නන් වන අතර Tim de Leede මෙම දක්ෂතාව දක්වද්දී, වයස අවුරුදු 35ක් වූ අතර Bas de Leede මේ වන විට සිටින්නේ වයස අවුරුදු 24ක් ලැබීමට ඔන්න මෙන්න කියායි. 

කෙසේ වෙතත් එදා එම තරගයේ දී ඉන්දියාව හමුවේ නෙදර්ලන්තය ලකුණු 68කින් පරාජයට පත් වූව ද Tim de Leede දැක් වූ දක්ෂතා හේතුවෙන් තරගයේ වීරයා ලෙසින් ද ඔහු නම් කෙරුණා.  

මෙදා Bas de Leede දෙපිලේ පන්දු යවන්නන් අතරින් හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතරව පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 67ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූව ද එම සම්මානයට ඔහු නම් කෙරුණේ නැහැ.  

තුන් ඉරියව්වෙන් පෑ ඔහුගේ දක්ෂතා අනුව ඔහුව තරගයේ වීරයා ලෙසින් නම් වූයේ නම් පියාට සේ ම පුතාට ද ලෝක කුසලාන තරගයක තම තමන්ගේ ඉහළ ම දක්ෂතාව දැක් වූ ඉනිමක, තරගයේ වීරයා සම්මානයේ ඇගයීම සැමරීමට ද ඉඩ තිබුණා. කෙසේ වෙතත් මේ දක්ෂතාව මේ දෙදෙනාගේ ම ලෝක කුසලාන තරගවල දී පෑ ඉහළ ම දක්ෂතාව ලෙසින් සටහන් වුනා.  

Tim de Leede දැක් වූ මෙම දක්ෂතාව මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ නෙදර්ලන්ත පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව ලෙසින් සටහන් වෙද්දී, පුතා Bas de Leedeගේ දක්ෂතාව එහි සිව්වැනි ස්ථානයේ අසුන් ගත්තා.

Tim de Leede
Bus De Leede කුඩා අවදියේ දී සිය පියා Tim de Leede සමඟ

Tim de Leede 

1996 ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්තයට එරෙහිව ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගන්නා Tim de Leedeට ජාත්‍යන්තර කඩුල්ලක් දවා ගැනීමට වසර 6ක තරග 8ක් ගෙවා දැමීමට සිදු වෙනවා. එම තරගවල දී පන්දුවාර 37ක් යවන ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 235ක් ලබා දෙනවා.  

ඔහුගේ ජාත්‍යන්තර පන්දු දිවියේ පළමු ගොදුර බවට පත් වෙන්නේ ලෝක පූජිත පිතිකරු Sachin Tendulkar. ඔහුට එම කඩඉමට පිවිසීමට කඩුල්ල පිටුපස සිටි Jeroen Smits රැක ගත් උඩ පන්දුව මනා පිටුවහලක් ලබා දුන්නා.  

ඉන් අනතුරුව Rahul Dravid, Harbhajan Singh සහ Zaheer Khan ද දවා ගන්නා ඔහු තම පන්දු යැවීමේ ඉනිම නිමා කරන්නේ පන්දුවාර 9.5ක් යවමින් ලකුණු 35කට කඩුලු 4ක් දවා ගනිමින්.  

1996 වසරේ සිට 2007 වසර දක්වා එක්දින ජාත්‍යන්තර පිටියේ රැදී සිටි ඔහු තරග 29කට සහභාගී වෙමින් කඩුලු 29ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 400ක් ලබා ගනිමින් තරම එක්දින තරග දිවිය නිමා කරනවා. 

1996, 2003 සහ 2007 වසර ත්‍රිත්වයේ පැවති ලෝක කුසලාන තරමාලාවන්වලට සහභාගී වී ඇති Tim de Leede ලෝක කුසලාන තරග 14ක දී කඩුලු 14ක් දවා ගැනීමට සමත් වෙනවා. ඒ අතර ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ ඉන්දියාවට එරෙහිව පෑ අප ඉහත සටහන් කළ දක්ෂතාවයි. එය තරග 29කින් යුත් ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ ද ඉහළ ම දක්ෂතාව ලෙසින් ද සටහන් වෙනවා.  

Tim de Leede මේ දක්ෂතාව දක්වද්දී ඔහුගේ පියා වන Frans de Leede ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කර ඇති අතර ඔහු ඊට වසර 13කට පසුව 2016 වසරේ දී මිය යනවා.  

Bas de Leede 

24 විය එළඹීමේ එළිපත්තේ සිටින Bas de Leede ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගන්නේ යන්තම් වයස අවුරුදු 19ක් වූ 2018 වසරේ දී නේපාලයට එරෙහිවයි. පියා මෙන් නොව තම පළමු තරගයේ දී ම එක්දින ජාත්‍යන්තර කඩුලු ලාභීන් අතරට පිවිසිමට ඔහු සමත් වෙනවා. පුදුමයකට මෙන් එම කඩුල්ල දවා ගන්නේ ද පියා දවා ගත් මංගල කඩුල්ල සේ ම කඩුලු රැකි ක්‍රීඩකයාගේ රැක ගත් උඩ පන්දුවක් හේතුවෙනුයි.  

ඔහුගේ පළමු ගොදුර බවට පත් වූයේ තම මංගල තරගයට සහභාගී වූ Sharad Vesawkar වන අතර කඩුලු රැකීමෙන් සහාය වූයේ Scott Edwards.  

එම තරගයෙන් අනතුරුව පියාට පළමු තරගයේ සිට සේ ම Bas de Leedeට ද දෙවැනි තරගයේ සිට පන්දු යැවූ තවත් තරග 7ක දී කඩුලු හිමි වෙන්නේ නැහැ.  

කෙසේ වෙතත් මේ වන විට තම පියාට වඩා වැඩි දක්ෂතා දැක්වීමට Bas de Leede සමත් ව සිටිනවා. ඔහු මේ වන විට එක්දින තරග 31කට සහභාගී වෙමින් ඉන් ඉනිම් 24ක දී පන්දු යවමින් කඩුලු 28ක් ලබා තිබෙනවා.  

ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත්ව තිබෙන්නේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 52කට දවා ගත් කඩුලු 5යි. එම දක්ෂතා නෙදර්ලන්ත එක්දින තරග ඉතිහාසයේ දැක් වෙන්නේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතා අතර තෙවැන්න ලෙසයි.  

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<