Yuvraj හොඳයි, Dhoni හොඳායි!

151
Russel Arnold compared ms dhoni and yuvraj singh

MS Dhoni සහ Yuvraj Singh යනු ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයින් දෙදෙනෙක් වන අතර, ඉන්දියාව ලද බොහෝ ප්‍රධාන පෙළේ ජයග්‍රහණවල හවුල්කරුවන් වීමට සමත් වීමෙන් ම ඔවුන් දෙදෙනා එය තහවුරු කරනවා.

ඔවුන් දෙදෙනාම විසින් ඉන්දියාව වෙනුවෙන් අමතක නොවන අන්දමේ පිතිකරණ දස්කම් දක්වා ඇති සේම, ඊට අමතරව Dhoni කඩුල්ල පිටුපස හිඳිමින් මෙන්ම, Yuvraj පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් ද ඉතා ඉහළ දස්කම් පෙන්වා තිබෙනවා.

එමෙන්ම 2007 දී ඉන්දියාව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරද්දී මෙන්ම 2011 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරද්දී ද ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ MS Dhoni විසින් වන අතර, 2011 ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ Yuvraj විසිනුයි.

කෙසේ වෙතත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ වත්මන් ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන Russel Arnold විසින් පවසන්නේ Yuvraj සහ Dhoni අතර ඇති විශාලතම වෙනස වන්නේ Dhoniට අවස්ථානුකූලව හැඩ ගැසී පිතිකරණයේ යෙදීමට ඇති හැකියාව බවයි. එම නිසා ශ්‍රී ලංකාවෙන් බිහි වුන විශිෂ්ටතම තරග අවසන් කරන්නෙක් ලෙස විරුදාවලි ලත් Russel Arnold විසින් මෙම ක්‍රීඩකයින් දෙදෙනා අතරින් MS Dhoniව වඩාත් විශ්වාසදායී තරග අවසන් කරන්නෙකු ලෙස හඳුන්වා දෙනවා.

“ඔහුට චරිත දෙකම නිරූපණය කරන්න පුළුවන්. ඒ වගේ කරන්න පුළුවන් බොහෝම ටික දෙනයි ඉන්නේ. චරිත දෙකක් කියලා කියන්නේ, පීඩනය උරා ගනිමින් ක්‍රීඩා කළ යුතු වෙලාවට ඔහුට ඒ දේ කරන්න පුළුවන්. ඒකම තමයි මගේ ශක්තිය වුනෙත්, මට එදා හෝ අද අවශ්‍ය මොහොතක හතරේ පහරක් එල්ල කරන්න පුළුවන් නමුත් පන්දුවාරයකට නොකඩවා ලකුණු 15ක් ලබා ගත නොහැකියි. ඔබ මට දෙන්න පන්දු වාරයකට ලකුණු 8ක් 10ක් විතර, මම ඒක කරනවා.

නමුත් පන්දුවාරයකට ලකුණු 15-20ක් තිබුනත්, Dhoni දැවැන්ත හයේ පහර දෙකක් නොකඩවා එල්ල කරලා ඒක ලබා ගනීවී.”

හිටපු ඉන්දීය පිතිකරුවකු වන WV Raman සමඟ පැවැත්වුණු සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව සඳහන් කළා.

තම ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය ආරම්භයේ දී Dhoni ඉතාම ප්‍රවේගකාරී පිතිකරුවෙකු වූ අතර එම කාලයේ ඔහු විසින් පාකිස්තානයට එරෙහිව රැස් කළ ලකුණු 148 මෙන්ම, ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 183 ද ඒ සඳහා හොඳම උදාහරණ ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

නමුත් ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හිමි වීමෙන් පසුව ඔහු සිය පිතිකරණ රටාව තරමක් වෙනස් කර ගනිමින් වගකීම් සහගත ඉනිම් දියත් කිරීම ඇරඹූ අතර පාකිස්තානය සමඟ තරගයක දී 29/5ක්ව තිබූ ඉන්දීය ඉනිම 227/6ක් දක්වා ගෙන ඒමට සමත් වූ Dhoniගේ ඉනිම ඊට හොඳම නිදසුනක් ලෙස දැක්විය හැකියි.

අනෙක් අතට Yuvraj Singh ද ඉතාම ප්‍රවේගකාරී ඉනිම් දියත් කළ විශ්වාසදායක පිතිකරුවෙක් වූ නමුත් ඔහුට Dhoni තරමට පීඩනය උකහා ගැනීමට නොහැකි වූ බව Arnold විසින් සඳහන් කරනවා.

Yuvraj Singh යනු අවශ්‍ය ඕනෑම අවස්ථාවක හතරේ පහරක් එල්ල කළ හැකි විචිත්‍රවත් පිතිකරුවෙකු බවත්, බොහෝ පිතිකරුවන්ට නොමැති අන්දමේ හැකියාවන් ඔහු සතු වූ බවත් සඳහන් කරන Arnold පවසන්නේ Dhoni කළාක් මෙන් පීඩනය අවශෝෂණය කර ගනිමින් ක්‍රීඩා කිරීමට Yuvraj සමත් නොවූ බවයි.

අවස්ථානුකූල ව පීඩනය උකහා ගනිමින් ආරක්ෂාකාරී ලෙස මෙන්ම, අවශ්‍ය විට ප්‍රහාරාත්මක පිතිකරණයේ යෙදීමටත් Dhoni සතුව විශේෂ හැකියාවක් වූ බව Arnold විසින් අවධාරණය කරනවා.

2000 වසරේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් ගමන ඇරඹූ Yuvraj 2019 දී සියලු ම ආකාරයේ ක්‍රිකට් ආකෘතීන් වලට සමුදීමට තීරණය කළේ ය. එමෙන්ම 2004 දී සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය ඇරඹූ MS Dhoni 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ නවසීලන්තය සමඟ ක්‍රීඩා කළ අවසන් පූර්ව වටයේ තරගයෙන් පසු සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදුන් නමුත් තවමත් IPL තරගාවලියේ Chennai Super Kings සමඟින් ක්‍රීඩා කරනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<