වනිඳු මෙවර PSL තරගාවලියෙන් ඉවත් වෙයි!

PSL 2023

277
Wanindu Hasaranga outs of the PS

පාකිස්තානයේ මේ දිනවල පැවැත්වෙන Pakistan Super League තරගාවලියට සහභාගී වීමට නියමිතව සිටි වනිඳු හසරංග එම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මෙවර PSL තරගාවලියේ Quetta Gladiators කණ්ඩායම නියෝජනය කිරීමට වනිඳුව තෝරා ගෙන තිබූ අතර, පෙර සැලසුම් කර තිබූ ලෙස ඔහු Gladiators කණ්ඩායම සමඟ මුල් තරග 6ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. (මාර්තු 3 වැනිදා සිට නවසීලන්ත තරග සංචාරය නිසා වනිඳුට මෙම තරගාවලිය අහිමි වන බව පෙර සිටම සඳහන් කර තිබූ නිසා.)

නමුත් දැන් PSL තරගාවලි සංවිධායකයින් තහවුරු කරන්නේ වනිඳු මෙවර තරගාවලියට එක් නොවන බව සහ ඔවුන් ඒ වෙනුවට ආදේශකයක් සොයමින් සිටින බවයි.

මීට පෙර සැලසුම් කර තිබූ ලෙස හසරංග මුල් තරග හය Gladiators වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් පසුව ඔහුගේ අඩුව පිරවීමට Qais Ahmedව තෝරා ගෙන තිබූ නමුත්, හසරංගගේ නොපැමිණීමත් සමඟින් Ahmed තරගාවලියේ මුල සිටම Gladiators නියෝජනය කළා. එමෙන්ම ඔවුන් මේ වන විට තරගාවලියේ තරග 4ක් ක්‍රීඩා කර ඇති අතර, තවත් මූලික වටයේ තරගය 6ක් ඔවුන්ට ඉතිරිව පවතිනවා.

මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන National Super League සිව්දින ක්‍රිකට් තරගාවලිය සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නවසීලන්ත තරගාවලිය නිසා හසරංග PSL තරගාවලියට එකතු වීමට SLC වෙතින් “විරෝධතා නොමැති බවට සහතිකයක්” (No-Objection Certificate – NOC) නොඉල්ලනු ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි ඈශ්ලි ද සිල්වා මහතා විසින් ESPN cricinfo වෙත ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් සිදු කරමින් ESPN මගින් පවසන්නේ වනිඳු ඉදිරි දිනවල ක්‍රීඩා කිරීමට නියමිත නවසීලන්තය තරගාවලියට මෙන්ම මෙවර IPL තරගාවලියට සහභාගී වීමට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇති නිසා සිය කාර්ය ප්‍රමාණය කළමනාකරණය කර ගැණීමේ අරමුණින් ඔහු මෙම තීරණය ගන්නට ඇති බවයි.

එමෙන්ම පෙර සඳහන් කළ පරිදි දැනට මෙවර PSL තරගාවලියේ තරග හතරක් ක්‍රීඩා කර ඇති Quetta Gladiators මේ වන තෙක් ජයග්‍රහණය කිරීමට සමත් ව ඇත්තේ එක් තරගයක් පමණක් වන අතර, ඔවුන් මේ වන විට PSL ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත් වී සිටිනවා. ඔවුන්ගේ මෙම දුර්වල ක්‍රීඩා රටාව මේ වන විට තරගවාර තුනක් තිස්සේ ම පවත්වා ගෙන එන අතර, මෙවර සමඟ තරගවාර තුනක් තුල ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙන්නේ තරග 10ක් පමණයි. එමෙන්ම 2020 වසරෙන් පසුව ඔවුන් PSL තරගාවලියේ Play – Off තරගය වටයකට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වී නැහැ.

වනිඳුට අමතරව මෙවර PSL තරගාවලියේ Lahore Qalandars සමඟ ක්‍රීඩා කිරීමට නියමිතව සිටි කුසල් මෙන්ඩිස් (මේ දිනවල ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගී වී සිටින එංගලන්ත ක්‍රීඩක Jordan Cox වෙනුවට) හට ද මෙවර PSL තරගාවලිය සමග එක් වීමට තිබූ අවස්ථාව අහිමි වී ගියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග රටා තුනේ ම නිත්‍ය ක්‍රීඩකයකු වන මෙන්ඩිස් හට ද ඉදිරි නවසීලන්ත සංචාරයට ප්‍රමුඛත්වය ලබා දීමට සිදු වීම නිසා මෙසේ PSL සඳහා සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ගිය අතර, Lahore Qalandars විසින් මෙන්ඩිස් වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් එක්දින නායක Shai Hopeව සිය කණ්ඩායමට තෝරා ගත්තා.

එමෙන්ම ඊයේ (21) පැවැත්වුණු Lahore Qalandars සහ Quetta Gladiators කණ්ඩායම් අතර තරගයේ දී Hope විසින් පිත්තෙන් සාර්ථක වීමට ද සමත් වුනේ Qalandars වෙනුවෙන් වේගවත් ලකුණු 47ක් ලබා ගනිමිනුයි.

ඒ අනුව මෙවර PSL තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව් දෙනාගෙන් (වනිඳු , කුසල්, නුවන් තුෂාර සහ භානුක රාජපක්ෂ) දෙදෙනෙකුටම මෙවර තරගාවලිය අහිමි වී ගිය අතර, ශ්‍රී ලංකා නායක දසුන් ශානක හට පසුව PSL නියෝජනය කිරීමට අවස්ථාවක් හිමි වුනා.

එමෙන්ම පසුගිය මාස අට තුල වනිඳු හට වරලත් ලීග් තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ගිය දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර The Hundred තරගාවලියේ Manchester Originals සමඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී ගියේ ද එවකට ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ අධික කාර්ය බහුල තරග කාලසටහන නිසායි.

PSL තරගාවලියේ 11 වැනි තරගය අද Multan Sultan සහ Karachi Kings කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර PSL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<