“ශක්තිමත්ව නැවත එන්න රාහුල්, මමත් සෑහෙන්න කඳුළු සලපු කෙනෙක්” – Dinesh Karthik

1183

ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු KL Rahul විසින් සිය ක්‍රීඩා ජීවිතයේ අසීරුතම කාලසීමාව ගෙවමින් සිටින අතර, තමන් ද එවැනිම කාලයක් ගත කර අති බැවින් Rahulගේ තත්වය පිළිබඳ තමන්ට මනා සේ වැටහෙන බව ඉන්දීය ක්‍රීඩක Dinesh Karthik පවසනවා.

පසුගිය කාලයේ විවිධ ආබාධ නිසා ඉන්දීය කණ්ඩායමේ ස්ථානය වරින් වර අහිමි වූ KL Rahul හට පසුව ඔහුගේ දුර්වල පිතිකරණ රටාව නිසා සිය කණ්ඩායම් උපනායකත්වය ද අහිමි වූ අතර, බොහෝ විට ඔහු ඕස්ට්‍රේලියාව සමඟ මීළඟට පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකෙන් ද ඉවතට විසි වනු ඇති බව ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම දහය තුලට අවම වශයෙන් ලකුණු 25ක් ඉක්මවූ එකදු ඉනිමක් හෝ අන්තර්ගත වී නොමැති අතර, එක්දින පිටියේ මෙන්ම විස්සයි විස්ස පිටියේ ද  ප්‍රේක්ෂකයින්ට පෙර දැක පුරුදු Rahul ව දැක ගැනීමට අවස්ථාවක් හිමි නොවුනු තරම්.

ඔහු අවසාන වතාවට පිතිකරණයේ යෙදුණු ඉනිමේ ද (ඕස්ට්‍රේලියාව සමඟ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ) එක් ලකුණක් පමණක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී යන අයුරු දක්නට ලැබුණා.

Rahul සමඟ සෑහෙන්න තරම් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අත්දැකීම් ඇති Dinesh Karthik විසින් මේ පිළිබඳ Cricbuzz වෙබ් අඩවිය සඳහා අදහස් දක්වමින් පවසා ඇත්තේ Rahul වෙනුවෙන් තමන් කනගාටු වන බවයි.

“ඊළඟ තරගයේ දී ඔහුට බොහෝ විට කණ්ඩායමේ ස්ථානය අහිමි වේවි. නමුත් ඔහුත් දන්න දෙයක් තමයි එහෙම වෙන්නේ එක ඉනිමක් නිසා නොවන බව. ඒකට හේතුව ඔහු ක්‍රීඩා කළ පසුගිය තරග හය හතකම ඔහුගේ දුර්වල පිතිකරණය. ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු සෑම තරග රටාවකම හොඳින් පිතිකරණයේ යෙදුණා. මම හිතන්නේ නැහැ මේකට හේතුව ඔහුගේ තාක්ෂණික දුර්වලතාවක් කියලා. ඔහුට යම් විවේකයක් අවශ්‍යයි දැන්. නැවත නැවුම්ව එක්දින තරගවලට එන්න.”

පසුව Rahul විසින් දැන් ගෙවා දමන කාලයට සමාන කාලයක් තමන් විසින් ගෙවා දැමූ බව ද පැවසූ Karthik සඳහන් කළේ ඒ කාලයේ තමන් නාන කාමරයට ගොස් කඳුළු සලා ඇති බවයි.

“මේක වෘත්තීය ලෝකයක්. ඔබට ක්‍රීඩකයෙක් විදිහට මේ වගේ දුක්බර අවස්ථාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔබ ඒ විදිහට දැවී ගියාම මේ ඔබේ අවසන් ඉනිම විය හැකි බව දැනෙනවා. මට ඒ දේ සිදු වෙලා තියෙනවා. ඔබ ක්‍රීඩාගාරයට යනවා, ඊට පස්සේ නිහඬව ම නාන කාමරයට යනවා. ගිහින් කඳුළු බිංදු දෙකක් හෝ තුනක් හෙළනවා. ඒක හොඳ හැඟීමක් නෙවෙයි, මොකද ඔබට කළ හැකි කිසිම දෙයක් නැහැ.”

Rahul විසින් දැන් ගෙවා දමන කාලය පිළිබඳ මනා වැටහීමකින් යුතුව අදහස් පළ කළ Karthik තවදුරටත් පවසා සිටියේ, Rahul වෙනුවට මීළඟ ටෙස්ට් තරගයට Shubman Gill ආදේශ වනු ඇති බවයි. එමෙන්ම KL Rahul විසින් නැවත කණ්ඩායමට පැමිණෙනු ඇති බවට Karthik විශ්වාසය පළ කරනවා.

“මේ වෙලාවේ මට තාවකාලිකව Shubman Gill සමඟ යන්න සිදු වෙනවා. ඔහු ඉතාම හොඳින් පිතිකරණයේ යෙදුණා. ඉන්දීය කණ්ඩායමේ එක් වෙනසක් විතරක් සිදු වේවි (ඕස්ට්‍රේලියාව සමඟ තුන්වැනි ටෙස්ට් තරගයට). මම KL Rahul වෙනුවෙන් කනගාටු වෙනවා. නමුත් එක දෙයක් විශ්වාසයි. ඔහු නැවත ශක්තිමත්ව කණ්ඩායමට එකතු වේවි. ඔහු නැවත කණ්ඩායමට එකතු වුනාම ඔහු හා සම කිරීමට තරම් ගුණාත්මක වෙනත් දකුණත් පිතිකරුවෙකු සොයා ගැනීමට නොහැකි වේවි.”

Border – Gavaskar ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<