හතුරුසිංහට බංග්ලාදේශ ප්‍රවීණයින් සමඟ ගැටුමක් නැතිලු!

454

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම, පුහුණුකරුවෙකු ද වන චන්දික හතුරුසිංහ මහතා විසින් නැවතත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කාර ධුරයේ වැඩ බාර ගත්තා.

සිය වැඩ බාර ගැනීමෙන් අනතුරුව මුහුණ දුන් ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු විසින් අවධාරණය කළේ ප්‍රවීණ බංග්ලාදේශ ක්‍රීඩකයින් සමඟ තමන්ට කිසිදු ආකාරයක ගැටලුවක් නොමැති බව සහ අතීතයේ පවා එවැනි දේවල් තමන්ට අභියෝගයක් නොවූ බවයි.

මීට පෙර 2014 වසරේ සිට 2017 වසර දක්වා බංග්ලාදේශ පුහුණුකරු ලෙස කටයුතු කළ හතුරුසිංහ අදාළ කාලයේ දී Shakib Al Hasanගේ වැරදි හැසිරීම් පිළිබඳ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස Hasanට මාස හයක තරග තහනමක් පැනවුනා.

එමෙන්ම ඔහුගේ ධුර කාලය තුල Mahmudullahව ශ්‍රී ලංකා තරග සංචාරයක දී කණ්ඩායමෙන් ඉවත් කිරීමට ඔහුට අවශ්‍ය වූවා සේම 2017 දී Mashrafe Mortazaව විස්සයි විස්ස ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට ද පෙලඹුවා.

මෙවැනි හේතු නිසා හතුරුසිංහගේ නැවත පැමිණීම පිළිබඳ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රජාවගෙන් ලැබෙන්නේ තරමක මිශ්‍ර ප්‍රතිචාරයක්.

“කිසිම ක්‍රීඩකයෙකුට මා සමඟ ගැටලුවක් නැහැ. මම ඇත්තෙන්ම මේක විඳිනවා. මම කලින් පුහුණු කරද්දීත් ක්‍රීඩකයින්ට ඇතුළු කරන්න උත්සාහ කරපු දෙයක් තමයි ඕනෑම ප්‍රතිවාදියෙකුට එරෙහිව නැගී සිටීම සහ ලොකු උනන්දුවකින් ක්‍රීඩා කිරීම. ඔවුන් පසුව නිදහස් කුසලානය සහ ආසියානු කුසලානය ක්‍රීඩා කරපු විදිහ ගැන අනෙක් ක්‍රීඩාගාරයේ සිටි මම ඇත්තටම ආඩම්බර වුනා.

මම හිතන්නේ නැහැ ප්‍රවීණ ක්‍රීඩකයින් සමග වැඩ කිරීම අභියෝගයක් වේවි කියලා. මම ඔවුන් සමග කතා බහ කළා. හැමෝම හොඳින් ක්‍රීඩා කිරීමට අවධානය දීලයි ඉන්නේ. ඒ වගේම මගේ කලින් ධුර කාලයේ දී පවා මට කිසිම ක්‍රීඩකයෙක් සමග වැඩ කිරීම අභියෝගයක් වුනේ නැහැ.”

එමෙන්ම තවදුරටත් බංග්ලාදේශ ක්‍රිකට් පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ සිය රටේ දී ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමේ දී එහි වාසිය බංග්ලාදේශය ලබා ගත යුතු බවයි.

හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ ඔවුන් 2016 දී එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරගවලින් පරාජය කිරීමට සමත් වූ නමුත්, ඔහුගේ ඉවත් වීමෙන් පසුව 2017 සිට ඔවුන්ගේ ටෙස්ට් දක්ෂතා එතරම් හොඳ මට්ටමට පැවතුණේ නැහැ.

“මම ඔබෙන් අහනවා, මොකක්ද සිය රටේ ක්‍රීඩා කිරීමේ වාසිය කියන්නේ කියලා. නවසීලන්තයට ගියා ම අපිට ලැබෙන්නෙ මොන වගේ විකට්ටුවක් ද? එංගලන්තයට හෝ ඕස්ට්‍රේලියාවට ගියාම මොකද වෙන්නේ?

අපි තමන්ගේ රටේ දී ක්‍රීඩා කරද්දී ඒ වාසිය ලබා ගත යුතුයි. හැම රටක් ම ඒ දේ කරනවා.”

බංග්ලාදේශය විසින් ද එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමඟ ක්‍රීඩා කිරීමේ දී දඟපන්දු යැවීමට උචිත තණතිලි භාවිතා කළ යුතු බවයි හතුරුසිංහ අවධාරණය කරන්නේ.

එමෙන්ම මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට්වල ඇතිවීමට නියමිත “සංක්‍රාන්ති කාලය” තමන්ට නැවතත් බංග්ලාදේශ පුහුණුකරු බවට වැඩ බාර ගැනීමට ප්‍රධානතම හේතුව වූ බව හතුරුසිංහ විසින් පවසනවා.

“මම හිතන්නේ ඉදිරි අවුරුදු දෙක තුනක කාලයේ අපි සංක්‍රාන්ති සමයකයි ඉන්නේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් බංග්ලාදේශ ක්‍රිකට් වෙනුවෙන් ගොඩක් හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. ඔවුන් ඉතාම හොඳ පරම්පරාවක් විදිහට මතකයේ රැඳේවි. ඒ වගේම අනිත් පැත්තෙන් හොඳ තරුණ ක්‍රීඩකයින් එනවා. මේ වගේ අභියෝගයක කොටස් කාරයෙක් වෙන්න තිබුණු අවශ්‍යතාව මාව දිරි ගැන්වුවා.“

එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් හතුරුසිංහ මහතා විසින් පවසා සිටියේ තමන්ට නැවත බංග්ලාදේශයට පැමිණීමේ බලාපොරොත්තුවක් තිබුණු බවත්, නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන කාලසමයේ තමන් ඒ පිළිබඳ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කළ බවයි. එමෙන්ම දේශීය ක්‍රිකට්වලට දිරි දෙමින් එමගින් බංග්ලාදේශ ක්‍රිකට් තවත් ඉදිරියට රැගෙන යාම සිය බලාපොරොත්තුව බව ද හතුරුසිංහ සිය පළමු මාධ්‍ය හමුවේ දී පවසා තිබුණා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<