තරගයට පෙර කම්මැළි වුණ Bumrahට ලැබුණු උපදෙස!

453

වත්මන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වන Jasprit Bumrah පිළිබඳ සැඟවුණු අතීත කතාවක් හිටපු ඉන්දීය පන්දු රැකීමේ පුහුණුකරුවකු වන  R Sridhar විසින් හෙළි කරනවා.

වර්තමානයේ පිට කොන්දේ ඇති වී ඇති ආබාධයක් නිසා ඉන්දීය කණ්ඩායමෙන් ඉවත් වී සිටින Bumrah බොහෝ විට එළඹෙන IPL තරගාවලියේ සිට නැවත ක්‍රීඩා කිරීම අරඹනු ඇති බවට පුවත් පළවනවා.

නමුත් ඔහුගේ මෙම ආබාධය ඇති වීමට ප්‍රථම ඔහු ඉන්දියාව වෙනුවෙන් වඩාත්ම සාර්ථක වූ වේගපන්දු යවන්නා වූ අතර බොහෝ විට වේගපන්දු යවන්නට එතරම් හිතකර නොවන ඉන්දීය තණතිලි වල පවා ඔහු කණ්ඩායම වෙනුවෙන් සිය උපරිමය ලබා දීමට සමත් වුනා.

නමුත් හිටපු පුහුණුකරු Sridhar විසින් රචිත “Coaching Beyond” නම් කෘතිය හරහා Bumrah විසින් තරගයක් වෙනුවෙන් සිය උපරිමය ලබා නොදී වේගය අඩු කළ පන්දු යවමින් සිය ජාමේ බෙරා ගැනීමට උත්සාහ කළ අවස්ථාවක් පිළිබඳ හෙලි කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ 2019 වසරේ දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර දීයී. ඒ වන විට එම තරගාවලියේ මුල් තරග 3න් තරග 2ක් ජයග්‍රහණය කර තරගාවලිය 2-1ක් ලෙස ඉදිරියෙන් සිටීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබුණු අතර තරගාවලියේ සිව්වැනි තරගය SCG (Sydney Cricket Ground) හී පැවැත්වීමට නියමිතව තිබුණා.

නමුත් මේ ක්‍රීඩාංගණය ඕස්ට්‍රේලියාවේ අනෙක් ක්‍රීඩාංගණවලට වඩා තරමක් දඟපන්දු යවන්නට සහය ලබා දෙන එකක් බවට ප්‍රසිද්ධිය උසුලන තණතීරුවක්. එමෙන්ම මෙල්බර්න් හී පැවැත්වුණු තරගාවලියේ තුන්වැනි තරගයෙන් ඉන්දියාව ජයග්‍රහණය කළ අතර එහි දී Jasprit Bumrah විසින් ඉනිම් දෙකේ දී කඩුලු 6ක් සහ 3ක් බැගින් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය ද හිමිකර ගැනීමට සමත් වී තිබුණා.

නමුත් තරගාවලියේ සිව්වැනි තරගය අතරතුර Bumrah විසින් එවකට ඉන්දීය වේගපන්දු යැවීමේ පුහුණුකරු  Bharat Arun වෙත පැමිණ මෙසේ පවසනවා.

“සර්, විකට්ටුව ගොඩක්ම මන්දගාමීයි. ඒකේ වේගපන්දු යවන්නන්ට කිසිම දෙයක් කරන්න බැහැ.

මට හරිම කම්මැළියි සර්. මම ශාරීරිකව වෙහෙසට පත් වෙලා, මානසිකව දුර්වල වෙලා ඉන්නේ. තරගාවලියේ කිසිම වෙනසක් වෙන්න ඉඩක් නැහැ. තරගය ජය පැරදුමෙන් තොරව නිමා වෙන්න ලොකු ඉඩක් තියෙනවා නේ?

මම මොකද්ද කරන්නේ. සර් , මම ටිකක් හෙමින් පන්දු යවන්නම්. මම වේගය අඩු කරලා ඒත් හොඳින් පන්දු යවන්නම්.”

(මෙහි කම්මැළි යනුවෙන් අදහස් කරන්නේ එක දිගට ක්‍රීඩා කිරීම නිසා වෙහෙසට පත් වී සිටීමයි.)

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7කට ලකුණු 622ක් ලබා ඉනිම අත්හිටුවා ඕස්ට්‍රේලියාවට තරගය ජයග්‍රහණය කිරීමට ඇති හැකියාව බොහෝ දුරට ඇහිරීමට සමත් වූ අතර, එම නිසා සිය උපරිමය නොයොදා පන්දු යැවීමට සිය පුහුණු කරුගෙන් Bumrah අවසර ඉල්ලූ බව Sridhar විසින් සිය කෘතියේ සඳහන් කරනවා.

නමුත් ඒ අවස්ථාවේ Bharat Arun විසින් Bumrahට හොඳින් සවන් දීමෙන් අනතුරුව Bumrahගේ තත්වය මනාව වටහා ගැනීමට සමත් වූ බවයි Sridhar සිය පොතේ සඳහන් කරන්නේ.

ඒ වන විට 2019 එක්දින ලෝක කුසලානයට මාස පහක පමණ කාලයක් ඉතිරිව තිබූ නිසා මෙම තරගාවලියට පසුව නියමිතව තිබූ නවසීලන්තය සමඟ සීමිත පන්දුවාර තරගාවලියෙන් ද Bumrahව නිදහස් කර තිබූ අතර, මේ සියල්ල සලකා බැලූ Arun විසින් Bumrah හට තෝරා ගැනීම් දෙකක් පිරි නමා තිබෙනවා.

“පළවෙනි ක්‍රමය තමයි ඔබ දැන් ඔය කියන දෙය කරන එක.

ඔබට පුළුවන් මේක තරමක් පහසුවෙන් සලකලා වේගය අඩු කරලා පැයට කිලෝමීටර් 130- 32 සීමාවේ පන්දු යවන්න. තරගයෙන් පස්සේ ඉන්දියාවට ගිහින් ප්‍රකෘති තත්වයට ඇවිත් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම.”

නමුත් මෙම ක්‍රමය යොදා ගනිමින් Bumrah සාර්ථක ලෙස පන්දු යැවුවත් ප්‍රතිවාදී පිතිකරුවන් විසින් පහසුවෙන් ඔහුට මුහුණ දෙනු ඇති බවත්, අනාගතයේ දී මෙයින් ලබා ගන්නා මානසික තල්ලුව නිසා Bumrahට එරෙහිව පහසුවෙන් පිතිකරණයේ යෙදෙනු ඇති බවත් පැවසූ Arun විසින් Bumrah හට දෙවැනි ක්‍රමය මෙසේ පවසනවා.

“දෙවැනි ක්‍රමය තමයි තරගයට ගිහින් කෙටි ඕවර සහිත (ඕවර 4ක් හෝ 5 අන්තර්ගත) Spell යොමු කරමින් පන්දු යැවීම.”

මෙය ක්‍රියාත්මක කිරීම මගින් වේගපන්දු යවන්නන්ට කිසිම සහයක් නොමැති තණතීරුවක පවා ඔහු ඉතා හොඳින් පන්දු යැවූ බවට ප්‍රතිවාදී පිතිකරුවන්ගේ මනසේ තැන්පත් වනු ඇති බව Arun විසින් Bumrah හට පවසනවා.

මේ අතරින් කැමති තීරණයක් ගැනීමට තමන් Bumrahට ඉඩ දෙන බවත් අවසාන වශයෙන් Arun විසින් පවසනවා.

ඉන්පසුව Bumrah විසින් Arunට ලබා දෙන්නේ මෙවැනි පිළිතුරක්,

“ඔව් සර්, මම ඔබ සමග එකඟ වෙනවා. මට මේක කිව්වට ගොඩක් ස්තුතියි. මම ගිහින් මගේ උපරිමය දෙනවා. කොහොමත් මට මේකෙන් පස්සේ මාසයක විවේකයක් තියෙනවා. මම කළ යුතු දේ කරනවා.”

අවසානයේ තරගයේ 4 වැනි දිනයේ දී Bumrah විසින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වනවා, එහි දී ඔහු දවා ගැනීමට සමත් වන්නේ එක් කඩුල්ලක් පමණක් වුවත් එම ඉනිම පුරාවටම ඔහු සිය උපරිමය තරගය වෙනුවෙන් ලබා දීමට සමත් වනවා.

පන්දු යැවීමෙන් පසුව නැවත සිය පුහුණුකරු Bharat Arun හමුවට පැමිණෙන Bumrah මෙසේ පවසනවා.

“ඔබ හරි සර්. දැන් පටන් තරගයේ තත්වය මොන විදිහ වුනත් මම ගිහින් මගේ උපරිමය දෙනවා. මම මේක පාඩමක් විදිහට ඉගෙන ගන්නවා.”

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<