රාජකීයයන් ලීග් පරාජයේ වාඩුව ත්‍රිත්වයින්ගෙන් සංසිඳුවා ගනී!

979

සති අටක් මුළුල්ලේ පැවතී පාසල් රග්බි තරගවලින් අනතුරුව අද (20) රාජකීය ක්‍රීඩා සංකීර්ණය ප්‍රේක්ෂකයින්ගෙන් පිරි ඉතිරී ගියේ 76 වැනි බ්‍රැඩ්බි පලිහේ පළමු තරගය සඳහායි.

එහි දී ත්‍රිත්ව විදුහල පහසුවෙන් පරාජය කරමින් ලකුණු 29-00ක් වශයෙන් පහසු ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් වුනා.

ලීග් රග්බි තරගාවලියේ දී ත්‍රිත්ව විදුහලට එරෙහි තරගයෙන් රාජකීයයන් ලද පරාජය සහ පසුගිය සතියේ පැවතී ලීග් රග්බි ශූරතාවය සහ මේජර් මිල්රෝයි ශූරතාවය වෙනුවෙන් වූ තරගයෙන් ඉසිපතන කණ්ඩායමට එරෙහිව පරාජය වූ රාජකීය කණ්ඩායම අද දිනයේ තරගයට අවතීර්ණ වුනේ විශාල පීඩනයක් සමඟින්.

තරගයේ ප්‍රථම අර්ධයේ දී ඉතා හොඳින් රාජකීය ප්‍රහාර මැඩලමින් ක්‍රීඩා කළ ත්‍රිත්ව ක්‍රීඩකයින් මද වෙලාවක් ගත වන විට තරගයේ වේගයට අනුගත වීමට නොහැකි වූ බවක් පෙනී ගියා.

ත්‍රිත්ව ඉදිරිපෙළට පහර පිට පහර එල්ල කළ රාජකීය ක්‍රීඩකයින් 16 වැනි විනාඩියේ දී තමන්ට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක ලෙස ලකුණු තුනකට ප්‍රවර්තනය කර ගැනීමට සමත් වුනා. එම දඬුවම් පහර එල්ල කළේ නබීල් යහ්යා. (රාජකීය 03 – 00 ත්‍රිත්ව)

එතැන් පටන් තරගයේ රිද්මයට අනුකූල වෙමින් රාජකීය ක්‍රීඩකයින් ත්‍රිත්ව ඉදිරිපෙළ තම ග්‍රහණයේ රඳවා ගනිමින් ක්‍රීඩා කළ අතර ත්‍රිත්ව පසුපෙළ ක්‍රීඩකයින්ට ද මහත් හිසරදයක් වුනා.

රාජකීය ඉදිරිපෙළ ඉතා හොඳින් ක්‍රීඩා කළ අතර 24 වැනි විනාඩියේ දී රාජකීය Hooker ක්‍රීඩක දනුජ සෝමරත්න පහසු උත්සාහක දිනුමක් වාර්තා කළා. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට යහ්යා සමත් වුනා. (රාජකීය 10 – 00 ත්‍රිත්ව)

ඉන්පසු තරගයේ පළමු අර්ධය තුල කණ්ඩායම් දෙකටම ලකුණු රැස් කර ගැනීමට නොහැකි වූ අතර ප්‍රථම අර්ධය අවසන් වීමේ සංඥාව විනිසුරු ඉෂංක අබේකෝන් විසින් ලබා දෙන විටත් තරගයේ සුක්කානම රාජකීයයන් අත තිබුණා.

පළමු අර්ධය: රාජකීය විදුහල 10 – 00 ත්‍රිත්ව විදුහල

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු පහකින් මහත් වෙහෙසක් දරමින් ත්‍රිත්ව ඉදිරිපෙළ ක්‍රීඩකයින් රාජකීය උත්සාහක දිනුම් සීමාව පසු කර ගියත්, රාජකීය ආරක්ෂකයින් පන්දුව නිසි ආකාරව පතිත කිරීමට ත්‍රිත්ව ක්‍රීඩකයින්ට අවසර නොදීම හේතුවෙන් Held-Up අවස්ථාවක් සංඥා කරමින් විනිසුරු එම උත්සාහක දිනුම් අවස්ථාව නිශ්ප්‍රභ කළේ රූපවාහිනී තරග විනිසුරු ඉර්ශාඩ් කාදර්ගේ සහයත් සමඟින්.

ඒත් සමඟින් 41 වැනි මිනිත්තුවේ දී රාජකීය Hooker ක්‍රීඩක සෝමරත්නට විනිසුරු අවවාද නොතකා ක්‍රීඩා කිරීම හේතුවෙන් කහ කාඩ් පතක් නිකුත් වූ අතර 43 වැනි මිනිත්තුවේ දී රාජකීය ක්‍රීඩක ෆිලියෝ කල්යානරත්නට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේ “Deliberate KnockOn” වරදට වරදකරු කරමින්.

විනාඩි 3ක කාල පරාසයක් තුල රාජකීය ක්‍රීඩකයින්ගේ ගණන 13කට සීමා වූ අතර එයින් ද කිසිදු වාසියක් නෙලා ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයින් අසමත් වුනා.

නමුත් 50 වැනි මිනිත්තුවේ දී Line-Out අවස්ථාවකින් මනා ප්‍රයෝජන ගත් රාජකීය ඉදිරිපෙළ පහසුවෙන් ත්‍රිත්ව ඉදිරිපෙළ තමන් ඉදිරියේ දණ ගැස්සුවේ තම ඉදිරිපෙළ ශක්තිමත් බව විදහා පාමින්.

එම Maul අවස්ථාවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට රාජකීය ක්‍රීඩක නවීන් පෙරේරා සමත් වූ අතර එම අවස්ථාව වන විටත් රාජකීය බල ඇණියේ ක්‍රීඩා කළේ ක්‍රීඩකයින් 13 දෙනෙක් පමණක් වීම විශේෂත්වයක්. එහි ප්‍රවර්තනය සාර්ථක ගැනීමට යහ්යා සමත් වුනා. (රාජකීය 17 – 00 ත්‍රිත්ව)

59 වැනි විනාඩිය වන විටත් ත්‍රිත්ව ක්‍රීඩකයින් තරගයේ රිද්මය හඳුනා ගත නොහැකිව ක්‍රීඩා කළ ආකාරයක් පෙන්නුම් කළ අතර විනිසුරු අවවාද නොතකා ක්‍රීඩා කිරීම හේතුවෙන් ත්‍රිත්ව බල ඇණියටත් කහ කාඩ් පතක් නිකුත් කිරීමට විනිසුරු ක්‍රියා කළා.

තම කහ කාඩ්පතේ දඬුවම අවසන් කර පිටියට පිවිසි සෝමරත්න 61 වැනි විනාඩියේ දී ම ක්‍රියාත්මක වෙමින් Maul අවස්ථාවකින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට යහ්යාට හැකි වුනේ නැහැ. (රාජකීය 22 – 00 ත්‍රිත්ව)

ත්‍රිත්ව ක්‍රීඩකයින් තූශ්නිම්භූත කරමින් 66 වැනි විනාඩියේ දී පහසු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට තිනෙත් ගමගේ සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් අතිරේක ලකුණු දෙක එකතු කිරීමට යහ්යා සමත් වුනා. (රාජකීය 29 – 00 ත්‍රිත්ව)

තරගයේ ආක්‍රමණය තමන් අත තිබුනත්, රාජකීය ක්‍රීඩකයින්ගේ තරග විනය ප්‍රශ්නාර්ථයක් කරමින් තරගයේ 68 වැනි මිනිත්තුවේ දී කල්යානරත්නට විනිසුරු දෙවැනි කහ කාඩ්පත සහ රතු කාඩ්පතක් නිකුත් කළේ එම ක්‍රීඩකයා “Deliberate KnockOn” වරදට වරදකරු කරමින්.

එසේම තරගයේ අවසන් මිනිත්තුවේ දී රාජකීය ක්‍රීඩක තෙවින්දු සපරමාදුට ද විනිසුරු රතු කාඩ්පතක් නිකුත් කළේ Tackle අවස්ථාවක දී ප්‍රතිවාදී ක්‍රීඩකයාව ආරක්ෂක ලෙස පොළොවට පතිත නොකිරීමේ වරදටයි.

ඉන් මොහොතකට පසුව විනිසුරු තරගය අවසන් කිරීමේ සංඥාව නිකුත් කළ අතර රාජකීය ප්‍රේක්ෂකයින් සහ ක්‍රීඩකයින් 76 වැනි බ්‍රැඩ්බි පලිහේ පළමු අදියරේ ජයග්‍රහණය සමරන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: රාජකීය විදුහල 29 (4T 3C 1P) – 00 ත්‍රිත්ව විදුහල

  • NDB තරගයේ වීරයා රාජකීය ක්‍රීඩක කවීන් සසංග.

ලකුණු ලාභීන්:

  • රාජකීය විද්‍යාලය – නබිල් යහ්යා (1P, 3C), දනුජ සෝමරත්න (2T), නවීන් පෙරේරා (1T), තිනෙත් ගමගේ (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<