අපරාජිත ඉසිපතනය රග්බි ශූරතාවයට

Dialog පාසල් රග්බි ලීගය 2022

1188

ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩකයින් විසින් ලකුණු 21-15ක් ලෙස රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් පරාජය කරමින් Dialog පාසල් රග්බි ලීග් ශූරතාවය හා මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය ජයග්‍රහණය කිරීමට ඊයේ (14) හැව්ලොක් පිටියේ දී සමත් වුනා.

රාජකීය විද්‍යාලය වෙනස්කම් 3ක් හා ඉසිපතන විද්‍යාලය වෙනස්කම් 2ක් සමඟ තරගාවලියේ තීරණාත්මකම අවසන් තරගයට පිවිසියා.

පළමු විනාඩි 10ක කාලය තුල කණ්ඩායම් දෙකම ඉතාමත් උණුසුම් ලෙස තරග කළ අතර කණ්ඩායම් දෙකටම එහි දී ලකුණු වාර්තා කිරීමට හැකි වුනේ නැහැ.

රාජකීය විද්‍යාලයේ පසිඳු හේෂාන් ප්‍රේක්ෂකාගාරයේ ඔල්වරසන් මැද පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වූ අතර නබිල් යහියා විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වුනා.

ඉන් අනතුරුව ඔහු විසින් දඬුවම් පහරක් ද සාර්ථක කර ගනිමින් රාජකීය විද්‍යාලය පෙරමුණට රැගෙන එන්නට සමත් වුනා. (ඉසිපතන 00-10 රාජකීය)

ඉසිපතනය ද 20 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් මගින් ලකුණු වාර්තා කිරීම ආරම්භ කළා. සිල්වා විසින් පළමු දඬුවම් පහර සාර්ථක කර ගන්නට සමත් වුනා.

උරහිසට ඉහළින් කළ නැවැත්වීම හේතුවෙන් රාජකීය විද්‍යාලයේ අබ්දුල්ලා යූසුෆ් හට රතු කාඩ්පතක් හිමි වූ අතර ඉන් ලද දඬුවම් පහර බොතේජු විසින් සාර්ථක කර ගනිමින් තවත් ලකුණු 3ක් ඉසිපතනය වෙනුවෙන් එකතු කළා.

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 06 (2P) – 10 (1T,1C,1P) රාජකීය විද්‍යාලය

කරට කර නිමා වූ පළමු අර්ධයත් සමඟ කණ්ඩායම් දෙකම දෙවැනි අර්ධය සඳහා පිවිසියේ ශූරතාවය සිය පාසලට රැගෙන යෑමේ චේතනාවෙන් යුක්තවයි.

ආදේශක ක්‍රීඩකයෙක් ලෙස පැමිණි බොතේජු විසින් තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත්තේ ඉසිපතන ලකුණු පුවරුව 9ක් දක්වා ඉහල දමමින්. ඒ වන විට ඔවුන් රාජකීය විද්‍යාලයට වඩා එක් ලකුණක් පසුපසින් පසු වූයේ තරගය අවසන් වීමට තවත් විනාඩි 30කට වැඩි කාලයක් ඉතිරිව තිබිය දී.

රාජකීයයේ හංසක හිග්ගොඩ හා ඉසිපතනයේ ජයවීර දෙදෙනාට කහ කාඩ්පත් ලැබීම හේතුවෙන් දෙපිලටම එක් ක්‍රීඩකයෙකුගේ අඩුවකින් යුතුව ක්‍රීඩා කිරීමට සිදු වුනා.

ලද අවස්ථාවකින් ප්‍රයෝජනය ගත් ඉසිපතන Fly-Half ක්‍රීඩක කණිෂ්ක රාජකීය විද්‍යාලයේ රැකවල් මධ්‍යයෙන් දිවගොස් අනර්ඝ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එය ඉසිපතන  ප්‍රේක්ෂකාගාරයේ හඬ දෙගුණ තෙගුණ කරන්නට ද සමත් වුනා.

තරගය උණුසුම් කරමින් නැවතත් තරගයට පිවිසි රාජකීය විද්‍යාලය ඔවුන්ගේ වඩාත් ජනප්‍රියතම ක්‍රීඩා උපක්‍රමය වන Maul ක්‍රමය හරහා දනූජ සමරරත්න විසින් උත්සාහක දිනුමක් වාර්තා කළත්, නබිල් විසින් එය  ප්‍රවර්තනය කිරීමට අසමත් වුනා. (ඉසිපතන 16-15 රාජකීය)

තරගාවලියේ හොඳම උත්සාහක දිනුම ලෙස නිර්දේශ වීමට හැකියාවක් ඇති බව පෙන්වමින්, ඉසිපතන  කණ්ඩායමේ Wing  ක්‍රීඩක ස්ටෙෆාන් ජයකාන්ත් විසින්, බොතේජුගේ සහයෙන් ඉතාමත් අනර්ඝ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා.

බොතේජු විසින් ප්‍රවර්තනය සාර්ථක කරන්නට අසමත් වුනත්, ඉසිපතනය අවසානයේ තරගය අවසන් කරන්නට සමත් වුනේ Dialog අන්තර් පාසල් රග්බි කිරුල හා මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලාන සඳහා හිමිකම් කියමිනුයි.

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 21 (2T,1C,3P) – 15( 2T,1C,1P) රාජකීය විද්‍යාලය

  • NDB තරගයේ ක්‍රීඩකයා – තරිඳු වේවැල්පන්ඩිත (ඉසිපතන).

ලකුණු ලාභීන් –

  • ඉසිපතන – කනිශ්ක 1T, ස්ටෙෆාන් ජයකාන්ත් 1T, සිල්වා 1P, බොතේජු 1C, 2P
  • රාජකීය – පසිඳු හේෂාන් 1T, දනූජ සමරරත්න 1T, නබීල් යහියා 1C,1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<