Archibald පෙරේරා කුසලානය නැවතත් තෝමසුවන්ට

382
Thomians retain Archibald trophy

Archibald පෙරේරා කුසලානය වෙනුවෙන් සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයෙන් සත්කාරකයින් පරදවා ලකුණු 22-23ක් ලෙස තියුණු ජයග්‍රහණයක් වාර්තා කරන්නට සාන්ත තෝමස් ක්‍රීඩකයින් ඊයේ (19) සමත් වුනා.

සාන්ත තෝමස් විද්‍යාලය සිය හොඳම කණ්ඩායම මෙම තරගයට නම් තිබුණේ, අවසන් වරට 2019 වසරේ දී ඔවුන් ජය ගත් කුසලානය තව දුරටත් රැක ගැනීමේ බලාපොරොත්තුවෙනුයි. සාන්ත පීතර විද්‍යාලයේ නායක සුදේෂ් ජයවික්‍රම මෙම තරගයට ක්‍රීඩා කළේ නැහැ.

Prop ක්‍රීඩක බුලත්සිංහලගේ උත්සාහක දිනුමත් සමඟ සාන්ත තෝමස් විද්‍යාලය 4 වැනි විනාඩිය වන විට ලකුණු රැස් කිරීම ආරම්භ කරන්නට සමත් වුනා.

එයට පිළිතුරු ලෙස සාන්ත පීතර Fullback ක්‍රීඩක කුශාන් තරිඳු වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟ තරගයේ පෙරමුණ ගැනීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි වුනා.

ඒ සමඟින්ම සාන්ත පීතර Flanker ක්‍රීඩක හිරුන් ගුණරත්න සාර්ථකව දිවගොස් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වීම නිසා තරගයේ තව දුරටත් පෙරමුණේ රැඳී සිටීමට සාන්ත පීතර කණ්ඩායමට හැකි වුනා. එමිත් ජයවීර විසින් එම ප්‍රවර්තන දෙකම සාර්ථක කර ගැනීමට සමත් වුනා. (සාන්ත පීතර 14-05 සාන්ත තෝමස්)

සාන්ත තෝමස් විද්‍යාලය ද නැවත අභියෝගයක් එල්ල කරන්නට සමත් වුනේ පිට පිට උත්සාහක දිනුම් තුනක් වාර්තා කරමින් තරගය තමන්ගේ දෙසට හරවා ගනිමින්.

එයින් පළමු උත්සාහක දිනුම මිහිත් පෙරේරා විසින් වාර්තා කළ අතර  Center ක්‍රීඩක වික්‍රමසූරිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේ සාන්ත පීතරයින්ගේ ඉදිරි රැකවල් බිඳ දමමිනුයි.

සාන්ත තෝමස් Lock forward ක්‍රීඩක ඩෙලා අනර්ඝ ලෙස තුන්වැනි උත්සාහක දිනුම ද වාර්තා කළේ සාන්ත පීතර ක්‍රීඩකයන්ව අන්දමන්ද කරමින්. බුලත්සිංහල එල්ල කළ එම ප්‍රවර්තන 3ම අසාර්ථක වුනත්, ලකුණු 6කින් පෙරමුණ ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයට හැකි වුනා.

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 14 (2T,2C) – 20 (4T) සාන්ත තෝමස් විද්‍යාලය

දෙවැනි අර්ධය ආරම්භ වත්ම සාන්ත පීතර ක්‍රීඩක චතුමින නෙත්සර උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වුනා. ආදේශක Flyhalf ක්‍රීඩක වින්ද්‍ය ද මෙල් එය ප්‍රවර්තනය කිරීමට අසමත් වුවත්, ඒ සමඟම ලද දඬුවම් පහරක් සාර්ථක කර ගත් සාන්ත පීතරයින් ලකුණු දෙකකින් පෙරමුණ දිනා ගත්තේ තරගයේ තවත් විනාඩි 20කට වැඩි කාලයක් ඉතිරිව තිබිය දීයි. (සාන්ත පීතර 22-20 සාන්ත තෝමස්)

දෙවැනි අර්ධයේ අවසාන භාගයේ තම ප්‍රථම සාර්ථක  දඬුවම් පහර වාර්තා  කර ගැනීමට  බුලත්සිංහලට හැකි වූ නිසා තරගය එක් ලකුණකින් නැවතත් පෙරමුණ ගන්නට සාන්ත තෝමස් විද්‍යාලය සමත් වුනා.

ඉන් පසුබට නොවූ සාන්ත පීතර ක්‍රීඩකයන් ප්‍රහාරාත්මක ලෙස ක්‍රීඩා කළත්, ඔවුන්ගෙන් සිදු වූ යම් යම් අඩුපාඩු හා සාන්ත තෝමස් ක්‍රීඩකයන් දක්ෂ ලෙස රැකවල් යෙදීම හේතුවෙන් අවසානයේ මෙම තියුණු තරගය එක් ලකුණකින් ජය ගෙන Archibald කුසලානය තවත් වසරක් තමන් සන්තකයේ රඳවා ගැනීමට සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 23 (4T,1P) – 22 (3T, 2C,1P) සාන්ත පීතර විද්‍යාලය

  • NDB තරගයේ වීරයා – ශෙනාල් ප්‍රනාන්දු (සාන්ත තෝමස්)

ලකුණු ලාභීන්:

  • සාන්ත තෝමස් – බුලත්සිංහල (1T ,1P), මහිත් පෙරේරා (1T), වික්‍රමසූරිය (1T), ඩෙලා (1T)
  • සාන්ත පීතර – කුශාන් තරිඳු (1T), හිරුන් ගුණරත්න (1T), චතුමින නෙත්සර (1T), එමිත් ජයවීර (1C), වින්ද්‍ය ද මෙල් (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<