වසර 6කට පසුව ඉසිපතනය අපරාජිතව ශූරයින් වූ 2022 පාසල් රග්බි ලීගය

Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය 2022

856

මෙවර Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය සියලුම පාසල්වලට ඉතාමත් විශේෂ තරගාවලියක් වුනේ කොරෝනා වසංගතය හමුවේ 2019න් වසර 2කට පසුව ලීග් තරගාවලියක් මෙම වසරේ දී පැවැත්වීමට හැකි වීම නිසාවෙනුයි.

ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් යන සියලු දෙනාටම මෙවර තරගාවලිය අභියෝගාත්මක තරගාවලියක් වූයේ පසුගිය තරගාවලියක අත්දැකීම් රහිත ක්‍රීඩකයින් රැසක් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන්.

කාණ්ඩ දෙකකට බෙදා තිබූ තරගාවලියේ පළමු කාණ්ඩයට රාජකීය, සාන්ත ජෝසප්, ත්‍රිත්ව, සාන්ත තෝමස්, සාන්ත අන්තෝනි හා කිංග්ස්වුඩ් විද්‍යාලයීය රග්බි කණ්ඩායම් ඇතුළත් වූ අතර දෙවැනි කාණ්ඩය සඳහා ඉසිපතන, වෙස්ලි, විද්‍යාර්ථ, සාන්ත පීතර, විද්‍යා හා ධර්මරාජ විද්‍යාලයීය රග්බි කණ්ඩායම් ඇතුළත් වුනා.

පළමු හා දෙවැනි කාණ්ඩ දෙකේ පෙරමුණ දිනා ගත් කණ්ඩායම් 4 දෙවැනි වටය හෙවත් සුපිරි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර ඒ අනුව ඉසිපතන, රාජකීය, සාන්ත ජෝසප් හා වෙස්ලි කණ්ඩායම් ශූරතාවය සඳහා එකිනෙකා සමඟ තරග කරන්නට විය.

ශූරයින් තීරණය කරනා අවසන් මහා තරගයේ දී, 2016න් පසු පළමු වරට පාසල් ලීග් රග්බි කිරුල හා 2017 වසරට පසුව මේජර් මිල්රොයි ප්‍රනාන්දු කුසලානය ජයග්‍රහණය කිරීමට, තියුණු සටනකින් පසුව රාජකීය විද්‍යාලය පරාජය කළ, ඉසිපතන විද්‍යාලය සමත් වුනා.

මෙවර ශූරතාවය දිනා ගැනීමත් සමඟ රාජකීය ආධිපත්‍ය බිඳ දැමීමට ඉසිපතනයට හැකි වූ අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුගිය වසර 8ක කාලයක් තුල ලීග් ශූරතාවේ ජය ඉසිපතන හා රාජකීය යන පාසල් දෙක අතර හුවමාරු වීමයි.

ඉසිපතන විද්‍යාලය අවසන් වරට ශූරතාවය දිනා ගත්තේ 2016 වසරේ දී වන අතර 2017, 2018 හා 2019 යන වසර තුනේම ශූරතාවය පිට පිට දින ගැනීමට රාජකීයයන් සමත් වුනා.

අවසන් මහා තරගය

රාජකීයයන් තරගාවලියට පිවිසියේ පසුගිය ශූරයන් ලෙස තම ආධිපත්‍ය රැක ගැනීමේ අරමුණෙන් වන අතර ඔවුන් ශූරයින් තීරණය කෙරෙනා තරගයට පිවිසියේ ජයග්‍රහණය කිරීමට වැඩි හැකියාවක් ඇති කණ්ඩායම  ලෙසයි.

රාජකීයයන් තරගයේ මුල් භාගයේ දී පෙරමුණ ගැනීමට සමත් වූවත්, ඉදිරිපෙළ ක්‍රීඩක අබ්දුල්ලා යූසෆ් හට හිමි වූ රතු කාඩ්පත හේතුවෙන් ඔවුන්ගේ Line-out ක්‍රියාවලිය නිසියාකාරව ක්‍රියා නොකිරීම හේතුවෙන් පසුබෑමකට ලක්වන්නට සිදු වුනා.

ඉසිපතනය ඔවුන් වාර්තා කළ දඬුවම් පහර 3ත් සමඟ තරගයේ රැඳී සිටී අතර ඔවුන්ගේ Fly-Half ක්‍රීඩක නවීන් කණිෂ්ක රාජකීය විද්‍යාලයීය රැකවල් මැදින් කළ දිවයාමෙන් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟ රාජකීය ආධිපත්‍ය බිඳ වැටීමට ලක්වුනා.

කෙසේ වෙතත් නැවතත් ක්‍රියාත්මක වූ රාජකීයයන් උත්සාහක දිනුමක් වාර්තා කළත් එය ඵල රහිත කිරීමට, තරගාවලියේ හොඳම උත්සාහක දිනුමක් ලෙස සැලකිය හැකි, ප්‍රවීන් ස්ටෙෆාන් විසින් වාර්තා කළ උත්සාහක දිනුමට හැකි වුනා.

ඉසිපතන ක්‍රීඩකයින් විසින් තරගය පුරාවට සාර්ථක සහ දක්ෂ ක්‍රීඩා විලාසයක් අනුගමනය කරමිනුත්, ප්‍රේක්ෂකාගාරයෙන් හිමි වූ නොමද සහයෝගයත් මධ්‍යයේ ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් වුනා.

රාජකීයයන්ට විශාල හිසරදයක් වූ ඔවුන්ගේ Line-Out ක්‍රියාවලියේ තිබූ දුර්වලතා නිසා Maul උපක්‍රමයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට නොහැකි වීමත් සහ ඉසිපතන ක්‍රීඩකයින්ගේ දක්ෂ ක්‍රීඩා විලාසයත් හමුවේ පිට පිට 4 වැනි වතාවටත් ශූරයන් වීමට තිබූ අවස්ථාව රාජකීයයන් අතින් ගිලිහි ගියා.

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 21 (2T,1C,3P) – 15 (2T,1C,1P) රාජකීය විද්‍යාලය

අනුශූරයින් තීරණය වූ තරගය

හැව්ලොක් පිටියේ දී පැවති තරගයෙන්, ප්‍රසාද ලකුණක් සමඟින්, වෙස්ලි විද්‍යාලය පරාජය කළ සාන්ත ජෝසප් විද්‍යාලයට ලීග් ලකුණු සටහනේ රාජකීයයන් අභිබවා  අනුශූරතාවය දිනා ගන්න‌ට අවස්ථාව හිමි වුනා.

රාජකීයයන් ලද පරාජයත් සමඟ සාන්ත ජෝසප් විද්‍යාලයට ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට ඒමට ලද අවස්ථාව ඔවුන් මනා ලෙස ප්‍රයෝජනයට ගන්නට සමත් වුනා.

වෙස්ලි විද්‍යාලය තරගයේ පළමු භාගයේ දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළත්, ඔවුන්ගේ රැකවල් දුර්වල වීම නිසා සාන්ත ජෝසප් ඉදිරිපෙළ ක්‍රීඩකයින් තරගය තමන් අතට ගන්නට සමත් වුනා.

සාන්ත ජෝසප් විද්‍යාලයේ No.8 ක්‍රීඩකයා ඉතාමත් අනර්ඝ ලෙස ක්‍රීඩා කළ අතර තරගයේ දෙවැනි අර්ධයේ දී ඔහු ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වුනා.

වෙස්ලි ක්‍රීඩක මුරලිදරන් තරග ආරම්භක ක්‍රීඩකයෙක් ලෙස නොයොදා ආදේශක ක්‍රීඩකයෙක් ලෙස තබා සිටියේ ප්‍රශ්නාර්ථයක් එක් කරමින්. කෙසේ වෙතත් ඔහුගෙන් බලාපොරොත්තු වූ වගකීම නිසි ලෙස ඉටු නොවුයේ ආදේශක ක්‍රීඩකයෙක් ලෙස පිටියට පිවිස 3 වැනි විනාඩිය ගත වද්දීම ඔහුට ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වීමට සිදු වූ නිසාය.

එසේම Fly-Half ක්‍රීඩක ජයවර්ධන හා Full-Back ක්‍රීඩක ජයවීරට ද බලාපොරොත්තු  වූ ලෙස ප්‍රතිවාදීන් හට අභියෝගයක් එල්ල කිරීමට නොහැකි වුනා.

තරගයට පෙර අනුමාන කළ පරිදීම සාන්ත ජෝසප් විද්‍යාලය විසින් පහසු ජයක් වාර්තා කළේ දෙවැනි අර්ධයේ පාලනය තමන් සතු කර ගනිමින්.

මෙවර ලීගයේ දී ඔවුන් ලබා ගත් දෙවැනි ස්ථානය එතෙක් මෙතෙක් ලීග් තරගාවලියක ඔවුන් ලබා ගත් හොඳම ස්ථානයයි.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 26 (4T,3C) – 11 (1T,2P) වෙස්ලි විද්‍යාලය

ඒ අනුව, ඉසිපතන විද්‍යාලය තරග 7ක් අපරාජීතව නිමා කොට ශූරතාවය ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර අනුශූරතාවය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය තරග 7ක් ක්‍රීඩා කොට ඉන් 5ක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, වෙස්ලි විද්‍යාලය සමඟ තරගයෙන් ලද ප්‍රසාද ලකුණක ජයග්‍රහණය හේතුවෙන් හා ඉසිපතන-රාජකීය ගැටුමේ රාජකීයයන් ලද පරාජයේ වාසියෙන්, රාජකීයයන් අභිබවා අනුශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

තරග 7ක් ක්‍රීඩා කොට ඉන් 5ක් ජය ගත් රාජකීයයන් තෙවැනි ස්ථානය ද, තරග 7න් 3ක් ජයගෙන එක් තරගයක් සමව අවසන් කළ වෙස්ලි විද්‍යාලය 4 වැනි ස්ථානය ද දිනා ගන්නට සමත් වුනා.

ධර්මරාජ විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය මෙවර තරගාවලියේ දී ප්‍රබල පසුබෑමකට ලක්වූ අතර ධර්මරාජ ක්‍රීඩකයින් ඔවුන් මුහුණ දුන් තරගවලින් එක් තරගයක් ලකුණු සමව නිමා කිරීමට සමත් වෙද්දී, කිංග්ස්වුඩ් විද්‍යාලයට කිසිදු තරගයක් ජයග්‍රහණය කරන්නට සමත් වුනේ නැහැ.

මෙවර තරගාවලියේ නැගී එන කණ්ඩායම ලෙස හැඳින්විය හැකි විද්‍යාර්ථ විද්‍යාලය කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ අතර ශූරතාව දිනූ ඉසිපතනයට ද ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට ඔවුන් සමත් වුනේ ලකුණු 2කින් පමණක් ඉසිපතනය හමුවේ පරාජය වෙමිනුයි.

මෙවර තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා ලෙස තේරී පත්වුනේ සාන්ත ජෝසප් විද්‍යාලයේ නවීන් මාරසිංහ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<