මලියදේව විද්‍යාලය හමුවේ මහින්දය පියවරක් ඉදිරියට

සිංගර් කුසලාන 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

88

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සුබදායක කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (16) ක්‍රියාත්මක විය.

මලියදේව විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස කුරුණෑගල මලියදේව විදුහල් පිටියේ දී පැවති මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් පළමු ඉනිමේ වැඩි ගෞරවය දිනා ගැනීමට මහින්ද විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් මලියදේව විදුහල් නායක මුදිත ප්‍රේමදාස පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළ නමුත් ඔවුන් අපේක්ෂා කළ මට්ටමේ ලකුණු පුවරුවක් වෙත යාමට ඔවුන්ට අවස්ථාව නොලැබුණි. 

කෙසේ නමුත් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 139ක් දක්වා රැගෙන ගිය ගයන වීරසිංහ සහ ජයමිණ මුතුකුමාරණ පිළිවෙළින් ලකුණු 39ක් සහ ලකුණු 38*ක් වාර්තා කරගනිමින් මලියදේව පළමු ඉනිම ඔසවා තැබුවේය. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ක්‍රීඩක කුෂාන් මධූෂ ලකුණු 32කට කඩුලු 4ක් දවා ගන්නා විට, චේතිය ගුණසේකර කඩුලු 2ක් දවා ගත්තේය.

අනතුරුව සිය පළමු ඉනිම දියත් කළ මහින්ද විද්‍යාලය තරමක වැඩි වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දෙමින් පළමු ඉනිමේ ජය තහවුරු කර ගත්තේ සියල්ලන්ම දැවී ලකුණු 225ක් ලබා ගනිමිනි. 

එහි දී සඳෙව් ඉඳුවර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 62ක් ලබා ගන්නා විට, සිය තුන් ඉරියව් දස්කම් දැක්වූ කුෂාන් මධූෂ ලකුණු 58ක් වාර්තා කරගත්තේය. මහින්ද විද්‍යාල ඉනිම යම් මට්ටමකට හෝ සීමා කර ගත් සචිඳු විජේරත්න ලකුණු 59කට කඩුලු 5ක් දවාලන ලදි. 

ලකුණු 86ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පැමිණි මලියදේව කණ්ඩායම දෙවන දිනයේ වැඩි වෙලාවක් පන්දුවට පහර දෙමින් ඔවුන්ගේ ඉනිම ආරක්ෂා කරගෙන ඉනිමක පරාජයෙන් ගැලවීමට සමත් විය. 

ඒ වෙනුවෙන් නායකත්වයේ පිතිකරණයක නිරත වූ කඩුලු රකින පිතිකරුවෙක් වන මුදිත ප්‍රේමදාස ලකුණු 79ක් වාර්තා කරගත්තේය. තරගය පුරාවට සිය දස්කම් පෙන්නුම් කළ මධූෂ මේ ඉනිමේ ද කඩුලු 4ක් දවා ගනිමින් තරගය පුරාවට කඩුලු 8ක් දවා ගන්නා ලදි.

මලියදේව විද්‍යාලය – 139 (51.2): ගයන වීරසිංහ 39, ජයමිණ මුතුකුමාරණ 38*, කුෂාන් මධූෂ 4/32, චේතිය ගුණසේකර 2/36 සහ 145 (63.3): මුදිත ප්‍රේමදාස 79, කුෂාන් මධූෂ 4/41, සුභානු රාජපක්ෂ 3/53, චේතිය ගුණසේකර 2/14.

මහින්ද විද්‍යාලය – 225 (75.2): සඳෙව් ඉඳුවර 62, සුභානු රාජපක්ෂ 58, ඔසිඳු කාවින්ද්‍ය 32, සිතිර හේලිත 31, සචිඳු විජේරත්න 5/59 

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය 

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ පළමු දිනය අවසන් වන විට කාසියේ වාසිය දිනාගෙන සිටි සත්කාරක ධර්මරාජ විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 270ක් ලබාගෙන සිටියේය.

ධර්මරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 270/5 (95): දුලාජ් බණ්ඩාර 104*, චේතිය ඒකනායක 94, ඉසුරු දයානන්ද 32, දිල්මින් රත්නායක 2/73

පළමු දිනයට පැවති තරගය හෙට (17) දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<