ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණුවීම් නැවත ආරම්භයට සියල්ල සූදානමින්

419

ශ්‍රී ලංකා ජාතික පාපන්දු ප්‍රධාන පුහුණුකරු Amir Alagic විසින් ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුවීම් නැවතත් ආරම්භ කිරීම සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇත.

ලොව පුරා පැතිර ගිය ‘Coronavirus’ වසංගත තත්වය හේතුවෙන් මාස 3ක කාලයක් පුරාවට පුහුණුවීම් කටයුතු පැවැත්වීමේ හැකියාවක් නොවූ අතර ඒ අනුව මෙම මස එළඹෙන 22 වැනි දින සිට බැද්දගාන ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේ දී ශ්‍රී ලංකා ජාතික පිරිමි පාපන්දු කණ්ඩායම සිය පුහුණුවීම් කටයුතු නැවතත් ආරම්භ කිරීමට නියමිත ය. 

නම් කර ඇති ක්‍රීඩකයින් 18 දෙනාගේ සංචිතය එහි දී සති 3ක නේවාසික පුහුණුවකට සහභාගී වන අතර එය සෞඛ්‍ය සහ ක්‍රීඩා අමාත්‍යංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නියාමවලීන් යටතේ පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත. 

Alagic පවසන අන්දමට මෙම නේවාසික පුහුණුවේ මූලික අභිප්‍රාය ක්‍රීඩකයින්ගේ මානසික ශක්තිය සහ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නැංවීම වන අතර කෙසේ නමුත් විදේශයන් වල සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද ඇතුළත් කරමින් නම් කෙරෙන අවසන් සංචිතය නම් කිරීමට පෙර තෝරාගත් මෙම සංචිතයේ තවදුරටත් වෙනස්කම් කිහිපයක් ද සිදුවීමට නියමිත ය. 

මේ වන විට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) විසින් අදාළ බලධාරීන්ගේ ද සහයෝගය ඇතිව නියමිත සෞඛ්‍ය සහ ආරක්‍ෂක නියාමවලීන්ට සහ සම්මතයන්ට ගැළපෙන පරිදි ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේ අලුත්වැඩියා කිරීම් සහ වෙනස්කම් රැසක් සිදුකර ඇති අතර තවදුරටත් එම පුහුණු කඳවුර තුළ දී සියලුම දෙනා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් ද පැනවීමට කටයුතු සිදුකර ඇත. 

එළඹෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ මේ දක්වා පවත්වා ඇති තරග වලට සහ Bangabandhu රන් කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින්ට අමතරව තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම නම් කර ඇති මෙම ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත් කර ඇත. 

තවත් කියවන්න;

ඒ අනුව පසුගිය වසරේ FA කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගත් පොලිස් පාපන්දු සමාජ කණ්ඩායම නියෝජනය කරමින් පසුගිය වසර 2ක කාලය පුරාවට ඉහළ දස්කම් දැක්වූ මහේන්ද්‍රන් දිනේෂ් සහ එම පාපන්දු සමාජයේම රිෆ්කාන් මොහොමඩ්, Colombo FC ක්‍රීඩක නිරාන් කණිෂ්ක සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ අබ්දුල් බාසිත් යන ක්‍රීඩකයින් හට මෙම සංචිතයේ ස්ථානය හිමිවී ඇත. 

ආබාධයක් හේතුවෙන් අවුරුදු 1 ½ක කාලයක් පුරාවට ක්‍රීඩාවෙන් ඈත්ව සිටි අෆීල් මොහොමඩ්ට මෙන්ම වසර 3ක කාලයකින් පසුව Java Lane කණ්ඩායමේ රිස්කාන් ෆයිසර් හට ද මෙහි දී සංචිතයේ අවස්ථාවක් හිමිව ඇති අතර තවදුරටත් Defenders පාපන්දු සමාජයේ අසිකුර් රහුමාන් සහ Renown පාපන්දු සමාජයේ සිවකුමාරන් රූබන්රාජ් ද මෙම සංචිතය සඳහා ඇතුළත් කර ඇත. 

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය:

රුවන් අරුණසිරි (ගෝල රකින ක්‍රීඩක) – මහේන්ද්‍රන් දිනේෂ් (ගෝල රකින ක්‍රීඩක) – චලන චමීර (Full Back) – සිවකුමාරන් රූබන්රාජ් (Full Back) – නිරාන් කණිෂ්ක (Full Back) – Duckson Piuslas (Center Defender) – ජූඩ් සුමන් (Center Defender) – චරිත රත්නායක (Center Defender) – අසිකුර් රහුමාන් (Defensive Midfielder) – අෆීල් මොහොමඩ් (Defensive Midfielder) – මොහොමඩ් ෆාසාල් (Center Midfielder) – ශබීර් රසූනියා (Center Midfielder) – රිස්කාන් ෆයිසර් (Attacking Midfielder) – සජිත් කුමාර (Right Wing) – අබ්දුල් බාසිත් (Right Wing) –  කවිඳු ඉෂාන් (Left Wing) – රිෆ්කාන් මොහොමඩ් (Center Forward) – දිලිප් පීරිස් (Center Forward)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<