මැරදෝනා ළඟට ගොස් මිය ගියෙමි – සැල්වදෝර් කබානාස්

259
Los pleyers

පාපන්දු තරගයක් හදිසියේ අතරමග නතර වුනොත් ක්‍රීඩකයෙකුට දැනෙන හැඟීම මොන වගේ ඇති ද? ඒකට කමක් නෑ, අඩුම තරමින් ඔහුට ඔහුගේ පාපන්දු ජීවිතය ඉතිරි වේවි. ඒත් එක මොහොතකින් ඔහුගේ මුළු පාපන්දු ජීවිතයටම නැවතීමේ තිත තැබුනොත්? 

සැල්වදෝර් කබානාස්, පැරගුවේ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කළ දක්ෂ ඉදිරිපෙළ ප්‍රහාරකයෙක්. වයස අවුරුදු 24ක් වෙනකොටම දකුණු ඇමරිකානු කලාපයේ පාපන්දු උනන්දුවන්ගේ රාජ්‍යයක් වන පැරගුවේ කණ්ඩායමේ ඉදිරිපෙළ ප්‍රහාරකයා වීමේ වරම දිනා ගත් කබානාස්, වයස අවුරුදු 26ක් වෙනකොට මෙක්සිකෝ ලීගයේ ඉහළ පෙළේ පාපන්දු කණ්ඩායම් රාශියක ක්‍රීඩා කොට තිබුණා.

සැල්වදෝර් කබානාස් – Sports Illustrated

2004 සිට 2010 දක්වා වසර 6ක කාලය තුළ පැරගුවේ කණ්ඩායම වෙනුවෙන් තරග 44කට සහභාගී වී ගෝල 10ක් වාර්තා කොට තිබුණු කබානාස්, 2006 සිට 2010 දක්වා තමන්ගේ ක්‍රීඩා සමාජය වුණු “ඇමෙරිකා” වෙනුවෙන් තරග 115ක දී ගෝල 96ක් වාර්තා කොට තිබුණා. මේ අතරට 2007 දී ඔහුට පිදුණු “වසරේ දකුණු ඇමරිකානු පාපන්දු ක්‍රීඩකයා” යන සම්මානයත් ආභරණයක් වුනේ ඒ සම්මානය දිනා ගත් පූර්වජයන් වන පේලේ, දියේගෝ මැරදෝනා වැනි දැවැන්තයන් අතරට ඔහුගේ නමත් එකතු වුණු නිසයි.    

ඔහුගේ පාපන්දු අනාගතය ගැන වර්ණවත් සිහින, ඔහු තුළත්, පැරගුවේ ජාතිකයින් අතරත්, සමස්ත ලෝක පාපන්දු උනන්දුවන් අතරත් තිබෙන්නට ඇති. එහෙත් මේ සියල්ල වෙනස් වීමට ගතවුනේ තත්පර කිහිපයක් විතරයි. ඒ, හරියටම හදිසියේ වෙනස් වෙන පාපන්දු තරගයක් වගේමයි.

2006 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ගෝල 3ක් වාර්තා කරපු කබානාස්ව ඒ වන විට කලාපය තුළ හැඳින්වුණේ “අද්මිරාල්” හැටියටයි. පිටිය මැද ක්‍රීඩා කරන ආක්‍රමණශීලී විලාශය දකුණු ඇමරිකානුවෙක් වුණු ඔහුට හොඳින්ම ගැලපුනා. ඒ වගේම 2010 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ දී ඔහු විසින් බ්‍රසීලයට එරෙහිව වාර්තා කළ ගෝලය නිසා පැරගුවේ කණ්ඩායම බ්‍රසීලය හමුවේ 1-0ක් ලෙස ජය ගත්තා. ඒ අතරතුර ඔහුට ලොව ජනප්‍රියම පාපන්දු කණ්ඩායමකින් ද ආරාධනයක් ලැබී තිබුණා.

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම වෙතින් ඒ වන විටත් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 1.35ක පූර්ව කොන්ත්‍රාත්තුවක් ඔහුට පිරිනමා තිබුණා. “ඇමරිකා” පාපන්දු සමාජය ඔහුගේ වැටුප දෙගුණ කර තිබුණා. සියල්ල හොඳින් සිදුවෙද්දී ඔහු ඔහුගේ බිරිඳ සමඟ රාත්‍රී වීදි සංචාරයක නියැලුණා. ඔවුන් මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි නගරයේ Bar Bar නම් රාත්‍රී සමාජ ශාලාවට ඇතුල් වුනා.

මෙක්සිකෝ සිටි නගරය රාත්‍රියේදී දිස්වන ආකාරය – The knockturnal

දිනය ජනවාරි 25. නත්තල් රැයින් හරියටම මාසයක් පහුවෙලා. කබානාස් සිය බිරිඳ සමඟ කා බී විනෝද වුනත් මොහොතකින් සිදුවීමට නියමිතව තිබූ අනතුර ඔවුන් දෙදෙනාම දුටුවේ නැහැ. පාන්දර 5.00 විතර වෙනකොට කබානාස්ට තමන් අවට සිටි ප්‍රබලයන් හෝ දුබලයන් හඳුනා ගන්නට නොහැකිව තිබුණා. ඔහු කෙනෙකු සමඟ එකට එක කිරීමේ වාදයක පැටලුණා. එහෙත් ඔහු වාදයේ පැටලුණේ කා සමඟින් දැයි ඔහු දැන සිටියේ නැහැ.

මෙක්සිකෝව තරම් “මත්ද්‍රව්‍ය ව්‍යාපාර කල්ලි” (Drug-Cartels) වලට ප්‍රසිද්ධ වෙනත් රටක් නැති තරම්. ඔවුන් පිරිස් බලයෙන්, මුදල් බලයෙන් මෙන්ම අවි ආයුධවලින් ද සන්නද්ධ පිරිසක්. කොටින්ම කියතොත්, එරටේ හමුදාව සටන් වදින්නේ එරට මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්ගේ ගෝල බාලයන් සමඟයි. ඔවුන් ත්‍රස්තවාදීන් තරම්ම නපුරින් ශක්තිමත්. මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා එරට විශේෂ පුහුණුව ලද හමුදා අනුඛණ්ඩ පවා තිබෙනවා. එය එතරම් ඔඩුදිවූ අනතුරක්.

ඉතින් එදින පාන්දර යාමය වන විට කබානාස් හා වාදයක පැටලී තිබුණේ සහෝදරයින් හයදෙනෙකු විසින් පවත්වා ගෙන යන “බෙල්ට්‍රාන් ලෙයිවා” නමැති එරට දරුණු මත්ද්‍රව්‍ය කල්ලියක බිම් මට්ටමේ චක්ගෝලයෙකු සමඟයි. ඔහු JJ” නමින් හැඳින්වුණු හෝසේ බැල්දෙරාස්. වාදය දුරදිග ගිය අතර  JJ දැන සිටියේ ප්‍රශ්න විසඳන එක් ක්‍රමයක් පමණයි. ඔහු විසින් මහතුන්ගේ වැසිකිළිය තුළ සිටි කබානාස්ගේ හිසට වෙඩි තැබුණා. ඇද වැටුණු කබානාස්ව මරණයට පත්වන තෙක් අත්හැර දමා තිබුණා.

J නොහොත් හෝසේ බැල්දෙරාස් – Milenio

සිද්ධියෙන් පාපන්දු ලොවම කම්පා වුනා. එහෙත් කබානාස්ගේ ප්‍රාණය යම් පිනක් නිසා නිරුද්ධ වූයේ නැහැ. එහෙත් ඔහු දින 10ක් කෝමා තත්වයක පසුවුනා. ජීවිතයත් මරණයත් අතර සටනක පසුවුනා.

“පාපන්දු තමයි මාව බේරුවේ.” වසර කිහිපයකට පසුව කබානාස් BBCය හමුවේ එසේ පවසා තිබුණා. ඔහු ඉන් අදහස් කොට තිබුණේ පාපන්දු ක්‍රීඩකයෙකු වීම නිසා තමන් තුළ තිබූ ශාරීරික යෝග්‍යතාවය නොවන්නට, තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකිව තිබූ බවයි. මාස කිහිපයක්ම මෙක්සිකෝවේ ප්‍රතිකාර ලැබූ ඔහුව පසුව පැරගුවේ රාජ්‍යය කරා යෑමට නිදහස් කෙරුණා.

කබානාස්ගේ ජීවිතය අන්ත අනතුරක හෙළුවත්, මෙක්සිකානු බලධාරීන් විසින් JJ ව සිරගත කළේ නැහැ. මත්ද්‍රව්‍ය ව්‍යාපාර වල බලවත්භාවය ගැන මා ඔබට යළි යළිත් කිව යුතු ද නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ සිර කඳවුරක් තුළ 49 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින එඩ්ගාර් “බාබි” වැල්ඩෙස්, එහි සිට JJ හට ආවරණය සැලසූ බව පසුව පිළිගෙන තිබුණා. එය මහාද්වීප ඉක්මවා පැතිරුණු දරුණු ව්‍යාපාර ජාලයක්.

සුව වූ පසුව තමන්ට නැවතත් පාපන්දු ක්‍රීඩා කිරීමට අවශ්‍ය වූ බව කබානාස් පැවසුවත්, 2011 දී එම උත්සාහය ව්‍යර්ථ වුනේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය ප්‍රශ්නාර්ථයක් වූ නිසයි. එහෙත් 2012 වසරේ දී ඔහු තමන් වෘත්තීය පාපන්දු ක්‍රීඩාවට එළඹුණු “12 ඩි ඔක්ටුබ්‍රේ” නම් ක්‍රීඩා සමාජය සමඟින් නැවත පාපන්දු පිටියට පිවිසුණා. කෙසේ වෙතත් ඔහුට තමන්ගේ පෙර දස්කම්වලට ළඟා වීමට නම් හැකි වුණේ නැහැ.

2014 දී ඔහු නැවතත් බ්‍රසීලයේ ක්‍රීඩා සමාජයක් වෙත යන්නට උත්සාහ කළා. ඒ උත්සාහය ද අසාර්ථක වුනේ ටනාබි නම් වූ ක්‍රීඩා සමාජයේ සගයන්ට සම යෝග්‍යතාවයක් ප්‍රදර්ශනය කිරීමට ඔහු අසමත් වූ බැවින්. මේ සියල්ල අතර ඔහු “ඇමරිකා” පාපන්දු සමාජය සමඟින් නීතිමය ආරවුලක ද පැටලී සිටියා. ඒ තමන්ට වෙඩි වැදුණු පසුව පාපන්දු සමාජය විසින් ඔහුගේ කොන්ත්‍රාත්තුව අහෝසි කිරීම හේතු කොටගෙනයි. 

මේ අතර මෙක්සිකෝ රජයෙන් ඔහුට බදු ගෙවීම් පැහැර හැරීමක් නිසා යැයි පවසමින් නැවත එරටට ඇතුල් වීමේ අවස්ථාව අහිමි කොට තිබුණා. මෙක්සිකෝවේ සිටි ඔහුගේ බිරිඳ ද ඔහු නැවත මෙක්සිකෝවට පැමිණීම අනුමත කළේ නැහැ. 

ඔහු තම නියෝජිතයන්ගෙන් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 13.5ක වන්දියක් ඉල්ලා නඩුමඟට පිවිසුණා. පසුව තම පවුලේ ව්‍යාපාරයක් වූ බේකරි ව්‍යාපාරයක සේවයට තනිවම නැවත ගමරට බලා ගියා.

“පාපන්දු තමයි මාව බේරුවේ.” – Marca

වර්ණවත් පාපන්දු දිවියක අභිමුව සිටි ඔහුගේ මුළු පාපන්දු අනාගතයම විනාශ වී ගියේ එක් මොහොතකින්. ක්‍රීඩාවකින් පමණක් නොව ඕනෑම ක්ෂේත්‍රයකින් ඔබ දියුණුවට ළඟා වෙද්දී, ඔබේ මූල්‍ය පරිසරය ස්ථාවර වෙද්දී, ඔබ ඔබේ සිහින වලට ළඟා වෙද්දී ඔබ ඉතාමත් ප්‍රවේශම් විය යුත්තේ මෙවැනි උදාහරණ නිසයි. එවිට ඔබ වටා එකතු වන අයවළුන්ගෙන් ඔබට සැබෑවටම සෙනෙහස දක්වන්නන් සහ යාප්පුවට සෙනෙහස දක්වන්නන් හඳුනා ගැනීම ඔබට පහසු වේවි.

තවත් විශේෂාංග ලිපි; 

“ඔහුගේ වෘත්තීය ජීවිතය හොඳම කාලයේ දී නැවතුණා. ඔහුගෙන් හැමෝම වාසි ගත්තා. සහායිකාව, නියෝජිතයන් වගේම නීතීඥවරුන්.” ඔහුගේ පියා කිව්වේ එහෙමයි.

කෙසේ වෙතත් මේ හැමදෙයින්ම බැට කෑ කබානාස් අද කියන්නේ, තමන්ට වෙඩි තබා තමන්ගේ වෘත්තීය ජීවිතයම විනාශ කරපු JJට තමන් සමාව දී ඇති බව. එය ඇත්තක් නම්, ජීවිතයේ යම් මොහොතක ඔහුට එයවත් පිහිට වේවි. දැනට ඔහු ඉඩ ලැබෙන පරිදි පාපන්දු කණ්ඩායම්වලට පුහුණුවීම් ලබා දෙන පුහුණුකරුවෙක්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<