දිනේෂ්ට ආබාධයක්; උපනායකයා පුහුණුවීම් වලට

323

COVID-19 වසංගත තත්වයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කර දෙවන සතියේ දී ගෝල රකින ක්‍රීඩක මහේන්ද්‍රන් දිනේෂ් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට ඒ සඳහා සුජාන් පෙරේරා පුහුණුවීම් සඳහා එක්කරගෙන ඇත. 

පොලිස් පාපන්දු කණ්ඩායම විසින් පසුගිය 2019 වසරේ දී FA කුසලාන තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමේ දී ඒ වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ දිනේෂ් හට පසුගිය දා පැවති ගෝල රකින ක්‍රීඩක පුහුණු සැසියක දී සිය දකුණු උරහිසේ ආබාධයකට මුහුණ දීමට සිදු වූ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) පවසා සිටින අන්දමට එම ආබාධය ‘right AC joint dislocation’ තත්වයක් ලෙස හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙය ඔහුගේ උරහිස අවසන්ධි වීමක් වන අතර ඒ සඳහා ඔහු සති 2-3ක කාලයක් විවේක ගත යුතු බවට නිර්දේශ වී ඇත. 

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ සිටින තරුණ හොඳම ගෝල රකින ක්‍රීඩකයා හට මේ ආකාරයට ආබාධයක් හේතුවෙන් සංචිතය අත්හැර යාමට සිදු වෙද්දී අනෙක් පසින් කණ්ඩායමේ උපනායක සුජාන් පෙරේරා PCR පරීක්‍ෂණයකින් අනතුරුව පුහුණුවීම් කටයුතු සමඟ එක්වීමට සූදානමෙන් පසුවේ. 

සුජාන් පෙරේරා PCR පරීක්ෂණයකට ලක්කරමින් Photo Credits – ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය

පසුගිය මාස 3ක කාලය සුජාන් හට ඉතා අසීරු කාල සීමාවක් බවට පත්වූයේ ඔහු සිය වෘත්තීය ක්‍රීඩා සමාජය වන මාලදිවයිනේ Club Eagles කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිය දී ‘Coronavirus’ වසංගතයේ පැතිර යාමත් සමඟ ශ්‍රී ලංකාව සිය ගුවන් තොටුපළ වසා දැමීමත් සමඟයි. ඉන් අනතුරුව මාලදිවයින ද ඔවුන්ගේ ගුවන් තොටුපළ වසා දමන්නට කටයුතු කළ අතර ඒත් සමඟම සුජාන් හට තනිවම මාලදිවයිනේ රැඳී සිටින්නට සිදු විය. 

කෙසේ නමුත් පසුගිය ජනවාරි මාසයේ දී පිය පදවියෙන් පිදුම් ලැබූ සුජාන් අනතුරුව තවත් ශ්‍රී ලාංකිකයින් 300 දෙනෙක් සමඟින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කෙරුණු නමුත් එහි දී ඔහුව යුද හමුදා කඳවුරක දින 14ක නිරෝධායනයට යොමු කරන්නට කටයුතු කෙරුණු අතර පසුව එම කඳවුරේ සිටි වෙනත් අයෙක් හට ‘Coronavirus’ වසංගතය වැළඳී ඇති බව පරීක්‍ෂණවලින් හෙලිවීමත් සමඟ ඔහුට ඊට අමතරව තවත් දින 14ක කාලයක් එහි ගතකරන්නට සිදු විය. 

ඒ අනුව වෘත්තීය පාපන්දු කටයුතු සහ අනතුරුව ‘Coronavirus’ වසංගතය සමඟ ඇතිවූ තත්වය හේතුවෙන් සිය පවුලෙන් මාස 5ක පමණ දීර්ඝ කාලයක් ඈත්ව සිටි සුජාන් හට අවසානයේ සිය නිවෙස බලා යාමට අවස්ථාව හිමි වුනේ පසුගිය ජුනි මස 16 වැනි දිනයි. 

තවත් කියවන්න;

>>වෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ A කාණ්ඩයේ කාන්තා තරගයේදී ඔමෙගා ලයින් සහ මැලිබන් ආයතන කණ්ඩායම් තරග කරමින් ©ThePapare.com<<

>>ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණුවීම් නැවත ආරම්භයට සියල්ල සූදානමින්<<  

>>ලෝක කුසලාන සහ ආසියානු ශූරතා තේරීම් තරග වලට නව තරග දින<<

>>නැවත ආරම්භයේ පළමු ගෝල අතරට Coronaත් එක්වෙයි<<

කෙසේ නමුත් නිරෝධායන කඳවුරේ දී පවා සිය ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් කටයුතු සුපුරුදු පරිදි සිදු කරනු ලැබූ සුජාන් නැවතත් කණ්ඩායම සමඟ එක්වීමට මේ වන විට දැඩි උනන්දුවකින් පසුවන අතර ඔහුගේ පැමිණීම පිළිබඳව සංචිතයේ අනෙක් ක්‍රීඩකයින් ද දැඩි සතුටකින් පසුවනු ඇති බව නොඅනුමාන ය. සංචිතයේ පුහුණුවීම් කටයුතු තවත් සතියක කාලයක් පුරාවට පැවැත්වෙනු ඇති බව වාර්තා වන අතර අනතුරුව ඔවුන් සඳහා දින 4ක විවේක කාලයක් ලබා දීමට නියමිතව ඇත.  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<