පිය සෙනෙහසේ නැගී “මහ මුහුද” තරණය කළ, පාටේ

266
Thomas Partey’s Atletico Madrid story in Sinhala

දරිද්‍රතාවය නම් කුමක් දැයි අත්දැකීමට ඔබ අප්‍රිකානු මහාද්වීපයට සංචාරය කළ යුතුය. එහෙත් දරිද්‍රතාවය මතින්ම ගොඩනැගුණු ගෝත්‍රවාදී, නොදියුණු සංස්කෘතියකට උරුමකම් කියන අප්‍රිකානු සමාජය තුළින් දක්ෂයන් බිහිවන්නේ ද ඒ දරිද්‍රතාවය නිසාම ය.

මැටියෙන් තැනූ ස්නූකර් පුවරු මත රවුම් ගල්කැට තබා කොසු මිටවල් වලින් ඒවාට අනින ස්නූකර් ක්‍රීඩකයන්, අබලි ද්‍රව්‍යවලින් තැනූ සංගීත භාණ්ඩවලින් අමුතු තාල මවන සංගීතඥයන්, දැන්වීම් පුවරු ගලවා සකස් කළ ඇඳුම් පැලඳුම් වලින් විලාසිතා කරන අප්‍රිකානු තරුණ තරුණියන් විසින් අපට ප්‍රකට කරන්නේ දරිද්‍රතාවය මතින් බිහි වූ ඒ දක්ෂතා ය.

wisegeek.com – අප්‍රිකාවේ ඝානාහි මුඩුක්කු නිවාස.

පාපන්දු ක්‍රීඩාවේදීත් එසේම ය. පාවහන්, ක්‍රීඩාංගණ, ගෝල දැල් හෝ ප්‍රමිතිගත පාපන්දුවක් රහිතව, ඉවතලන ප්ලාස්ටික් බෝතලයකින් හෝ අණ්ඩ දැමූ ඉවතලන පාපන්දුවකින් මුළු ගමකම ප්‍රතිවාදීන් අභිබවා ගොස් ගෝල වාර්තා කරන ක්‍රමය දන්නේ ද අප්‍රිකානුවන් පමණක්ම ය.

එසේ බිහි වන පාපන්දු දක්ෂයන්ට ගෝත්‍රික සටන්, ලෙඩ රෝග, ස්ත්‍රී දූෂණ, සමාජ අක්‍රමිකතා සියල්ල හැරගොස් එක් මුහුදක් තරණය කොට සිය යුරෝපා පාපන්දු සිහිනය සැබෑ කර ගත හැකිය. ඒ අප්‍රිකානු මහාද්වීපයත් යුරෝපා මහාද්වීපයත් බෙදා වෙන්කෙරෙන මධ්‍යධරණි මුහුද, එසේත් නැත්නම් හීබෲ බයිබලයට අනුව “මහ මුහුද” (Great sea) තරණය කිරීමෙනි. ඒත් එය පහසුද? ඝානා රටේ ඉපිද, “මහ මුහුද” තරණය කොට ලා ලීගා පාපන්දු වේදිකාවට නැග ගත් තෝමස් පාටේගේ කතාව ඒ ගැන ඔබට කියනු ඇත.

eurosport.com – තෝමස් පාටේගේ කතාව ඒ ගැන ඔබට කියනු ඇත.

තෝමස් පාටේ, ස්පාඤ්ඤයේ ඇට්ලටිකෝ මැඩ්රිඩ් B කණ්ඩායමට එක්වුණේ 2012 වසරේ දීයි. ඒ අතරම මලෝර්කා කණ්ඩායමටත්, අල්මයිරා කණ්ඩායමටත් ක්‍රීඩා කිරීමේ වරම ඔහුට ලැබී තිබුණි. 

ආරක්ෂක මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස ඔහු දැක්වූ දස්කම් නිසා 2015 දී වයස අවුරුදු 22ක ක්‍රීඩකයෙකු ලෙස ඔහු ඇට්ලටිකෝ මැඩ්රිඩ් පළමු කණ්ඩායමට ඇතුළත් වූ අතර මේ වන විට තරග 100කට වඩා ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. එහෙත් ඔහුගේ සංවේදී මතකාවර්ජනය පාපන්දු ලොවට අසන්නට ලැබෙන්නේ එංගලන්ත ප්‍රීමියර් ලීගය වෙතට ඔහු ලද ආරාධනයෙන් පසු ය.

එංගලන්තයේ ආසනල් ක්‍රීඩා සමාජය ඔහු දෙස උනන්දුවෙන් බලා සිටිනවා පමණක් නොව, පවුම් 5ටත් මිනී මරාගන්නා රටක උපන් ඔහුට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 43ක් පිරිනැමීමට ද කැමැත්ත පළකර සිටියි. මේ ගැන The Sun වෙබ් අඩවියෙන් කළ විමසීමක දී පාටේ තමන්ට අමතක කළ නොහැකිම සෙනෙහසක් ගැන මතකය ආවර්ජනය කළේය.

busitechnews.com – ඔඩොමෙටා සිට ආසනල් දක්වා.

කුඩා කල පටන් පාපන්දු ක්‍රීඩකයෙකු වීමේ සිහිනයෙන් පෙළුණු පාටේ හට එය සැබෑ කරගැනීම සඳහා කිසිදු මූල්‍යමය පදනමක් නොතිබුණේය. දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ පාටේ උපන්නේ 1993 වසරේ දීයි. ඔහුගේ මව සුළු පරිමාණ වෙළඳාම් කළ අතර පියා ඝානාවේ ග්‍රාමීය පාපන්දු කණ්ඩායමක පුහුණුකරුවෙකු විය. 

බහුතර අප්‍රිකානුවන්ට සුපුරුදු මුඩුක්කු නිවාසයක ජීවත් වූ පාටේ සහ ඔහුගේ සහෝදරයන් නිරායාසයෙන්ම පාපන්දු ක්‍රීඩාව වෙත ඇදී ගියේය. තමන්ගේ පාපන්දු දස්කම් ගැන විශ්වාස කළ පාටේට බොහෝ අප්‍රිකානු දරුවන් මවන සිහිනය ලංවූයේ ද නිරායාසයෙන්ම ය. ඒ යම් දිනෙක යුරෝපා පාපන්දු පිටියේ ක්‍රීඩා කරන සිහිනයයි.

තම වැඩිමහල් දරුවාගේ පාපන්දු දස්කම් හඳුනා ගත් දෙමාපියන් ද ඔහුව යුරෝපය බලා යැවීමට මුදල් අවශ්‍ය බව තේරුම් ගෙන මුදල් එකතු කරන්නට අප්‍රමාණ වෙහෙසක් දැරුවේය. එහෙත් මුදල් ඉතිරි කිරීම”, දකුණු ආසියාවේ ශ්‍රී ලාංකිකයන්ට සේම, අප්‍රිකාවේ ඝානා වාසීන් වූ පාටේගේ දෙමාපියන් හට ද අපහසු වූයේ පැහැදිලි හේතු සාධක මත ය.

ඒ වන විටත් ඝානාහි දේශීය පාපන්දු ක්‍රීඩා සමාජයක් වූ ඔඩොමෙටා පාපන්දු සමාජයේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වීමට පාටේ සමත්ව තිබුණි. ඔහු කණ්ඩායමෙන් අතිදක්ෂයා නොවුනත් ඒජන්තවරයෙකු (මෙවැන්නන් අප්‍රිකාවේ සැරිසරමින් යොවුන් පාපන්දු දක්ෂයන්ව යුරෝපයට ගෙන යයි) ඔවුන්ගේ කණ්ඩායම පරීක්ෂණයකට ලක්කළේය. 

කණ්ඩායමේ දක්ෂතම ඉදිරිපෙළ ක්‍රීඩකයාට පිළිතුරු දීමේ අවස්ථාව පිරිනැමුණ ද, ඔහු පැවසුවේ ඝානාහි පාපන්දු කණ්ඩායමකට ක්‍රීඩා කරන්නට ඔහු කැමති බවයි. ඔහු යුරෝපයට ගොස් පාපන්දු ක්‍රීඩා කිරීමට අකමැති වූයේ එය සිහිනයක් පමණක් බව සිතමිනි.

ghanasoccernet.com – තෝමස් පාටේ සිය පවුල සමඟින්.

“මගෙ අවස්ථාව ආවා. ඔහු මගෙන් ඇහුවහම මට ඕන මොනවා කරන්න ද කියලා, මම කිව්වා පාපන්දු වලින් ඉදිරියටම ගිහින් මගෙ පවුලට උදව් කරනවා කියලා” පාටේ හට ලැබුණු අවස්ථාව ඔහු විසින් අපතේ හරියේ නැත. පාටේ යුරෝපය බලා යාමට අත්සන් කළේය.

“ඔහු ඇහුවා මගේ තාත්තා කවුද කියලා. ස්පාඤ්ඤයේ දී පරීක්ෂණයකට යන්න පුළුවන් ද කියලා අහන්න ඔහු තාත්තට කතා කළා. ඒත් මොන කණ්ඩායමට ද කියලා කිව්වේ නෑ.”

අප්‍රිකානු ක්‍රීඩකයින්ට ලොව පුරා ප්‍රමුඛ කණ්ඩායම්වලින් ඉල්ලුමක් ඇත්තේ දරිද්‍රතාවය මැද හැදී වැඩෙන ඔවුන්ගේ මානසික සහ ශාරීරික ශක්තිය ඉහළ මට්ටමක ඇති නිසාත්, ජයග්‍රහණය කිරීමට ඇති දැඩි කැමැත්ත නිසාත්, ඔවුන් කණ්ඩායමට දක්වන පක්ෂපාතීත්වයත් නිසා ය.

talksport.com – ඔවුන් ශක්තිමත් ය.

අප්‍රිකාව වැනි මිහිපිට අපායක ඉපිද, ඉන් ගැලවීමට ඕනෑම දෙයක් කරන ඔවුන්ගේ ඇති වරද කුමක්ද? ඇතැම් අප්‍රිකානුවන් ජීවිත අවදානමක් ද ගෙන අනීතිකව මුහුදු මඟින් යුරෝපයට රිංගාගන්නට තැත් දරද්දී බොහෝ වත්මන් යෞවනයන්ට පාපන්දු ක්‍රීඩාවෙන් ඒ අවස්ථාව ලැබී තිබේ. එහෙත් එය ඔබ අප දකින තරම් පහසු නැත. ජාවාරම් වලට කප්පිත්තන් වූ අප්‍රිකානුවන් හමුවේ සාමාන්‍ය ජනයාට කිසිවක් පහසු නැත.

මම ඒජන්තවරයා එක්ක ස්පාඤ්ඤයට යන්න ලෑස්ති වුනා. ඔහු තමයි හැම ලියකියවිලි වැඩක්ම බැලුවේ. මට කරන්න කිසිදෙයක් තිබුණේ නෑ. දවස එනකම් මම පුහුණු වුනා, කෑවා, නිදාගත්තා.”

එහෙත් ඒ සියල්ල පිටුපස තම පියාගේ අසීමාන්තික කැපවීම ඇති බව පාටේ දුටුවේ කලකට පසු ය. පාටේගේ පියා විසින් පාටේගේ වීසා සඳහා මුදල් ගෙවන ලද්දේ තමන්ට අයත් සියලු දෑ විකුණා ය.

තාත්තා එයාගේ දේපොලත් විකුණලා මගේ ලියකියවිලි හදලා දෙන්නයි මගේ සපත්තු අරන් දෙන්නයි ලොකු උත්සාහයක් ගත්තා.”

ඒ පිය සෙනෙහසයි. තම දරුවාගේ සිහිනය වෙනුවෙන් කිසිදු ප්‍රශ්නයක් නොනගා ඔහු කැපවුනේය.

එයා මං පොඩි කාලේ ඉඳන්ම මට උදව් කළා. සපත්තු නැතුව ක්‍රීඩා කරන්න බෑනේ. අපේ අහල පහල කණ්ඩායම් වලටත් ඔහු ගොඩක් උදව් කළා. මට මතකයි අපි කෑම අරන් යනවා.”

එහෙත් තම පියාගේ කැපකිරීම් වලට ස්තුති කිරීමටවත් කාලයක් නොලබමින්ම හදිසියේ යුරෝපය බලා යන්නට පාටේ හට සිදු වූයේ පාපන්දු පරීක්ෂණය සඳහා පිටත් විය යුතු වූ දිනටත් පෙර ය.

මාව කාරෙකකට නංවගත්තා. ඒජන්තවරු මාව ප්‍රධාන නගරයට අරගෙන ගියා. ඔවුන් මගේ පාස්පෝට් එකයි, වීසා එකයි මට දීලා කිව්වා, ‘අද ඔයා යන්නකියලා”

තාත්තා ගෙදර හිටියේ නෑ. මගේ පවුලේ කවුරුත් තියා මමවත් මොනවත් දැනගෙන හිටියේ නෑ. එදා යනවා කිව්වා නම් ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්න තිබුණා.”

මම ස්පාඤ්ඤයට ගියා. මාස හය හතක්වත් ගිහාම තමයි ගොඩක් දෙනා දැනගත්තේ මම ඝානා වල නෑ කියලා.”

පසුව ඔහුගේ පියා කළ කැපකිරීම් ගැන ඔහු දැනගත්තේය.

තාත්තා මගේ තීරණයත් එක්ක හැමවෙලේම හිටියා. මොකද ඔහුට වෙන කිසිම උදව්වක් තිබුණේ නෑ. ඔහුට ගොඩක් වියදම් වුනා. ඔහු කිසිවක් කිව්වේ නෑ.”

ඊළඟ මාසේ ඔවුන් මට සපත්තු ගන්න සල්ලි එව්වා. මගේ අම්මා නම් කලබලෙන් හිටියේ මට මොනවා වෙයි ද කියන එක ගැන හිත හිතා හිටපු නිසා.” ඒ මවගේ ස්නේහයයි. එහෙත් පියා ඊට හාත්පසින්ම වෙනස් ය. හැඟීම් නොපෙන්වා තිරය පිටුපස සිට සේවය කරයි.

විශේෂාංග ලිපි;

කෙසේ වෙතත් පියාට නොපවසාම ඝානාව හැර ගිය පාටේ මේ වන විට යුරෝපාකරයේ සිටින ප්‍රබලතම මැදපෙළ ආරක්ෂක ක්‍රීඩකයෙකි. ඔහුව මිල දී ගැනීමට පවුම් මිලියන 43ක් වියදම් කිරීමට ආසනල් කණ්ඩායම තීරණය කර ඇත්තේ ද එම නිසයි. එබැවින් කිසිවෙකුට නොපවසා ඔහු ගත් තීරණය ඔහුට වල කැපුවේ නැත.

මම කරන්නේ මට හොඳම දේ කියලා හිතෙන දේ. ඒ නිසා තමයි මම කාටවත් කියන්නේ නැතුව ගියේ.” 26 හැවිරිදි ඔහු අවසන් වශයෙන් කීය.

එහෙත් මේ සියල්ල පසුපස ඔහුගේ පියා තම සන්තකයේ තිබූ සියල්ල විකුණා දමා කළ කැපකිරීමේ එළිය නොඅඩුව ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<