ලෝක කුසලාන සහ ආසියානු ශූරතා තේරීම් තරග වලට නව තරග දින 

312

ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එළඹෙන 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සහ 2023 AFC ආසියානු ශූරතාවයේ සුදුසුකම් ලබා ගැනීමේ දෙවන වටයේ ඉතිරි තරග පැවැත්වීමට නියමිත දිනයන් අද (05) දින ප්‍රකාශයට පත්කරනු ලැබීය. 

ඒ අනුව එම වටයේ 7 වන සහ 8 වන තරග දිනයන් එළඹෙන ඔක්තෝම්බර් මස 08 සහ 13 යන දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර ඇත. පසුව එම වටයේ 9 වන සහ 10 වන තරග දිනයන් එළඹෙන නොවැම්බර් මස 12 සහ 17 යන දෙදින පුරා පැවැත්වෙනු ඇත. 

මේ ආකාරයට ඉහත දින වලදී එම අදාළ තරග පැවැත්වීම සඳහා ආසියානු පාපන්දු සම්මේලනය විසින් තීරණයක් ගෙන ඇත්තේ එළඹෙන නොවැම්බර් මාසය තුළ මෙම තරගාවලි වල සුදුසුකම් ලබා ගැනීමේ ඒකාබද්ධ මූලික දෙවන වටයේ තරග පවත්වා අවසන් කර, අනතුරුව 2022 වසරේ දී කටාර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ අවසන් තරග වටයත්, 2023 වසරේ දී චීනයේ දී පැවැත්වීමට නියමිත AFC ආසියානු ශූරතාවයේ සුදුසුකම් ලබා ගැනීමේ 3 වන වටය සඳහා වන ‘play-off’ තරගත් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙනි. 

මෙම අදාළ තරග වට පසුගිය මාර්තු මාසයේ දී සහ මෙම මාසයේ දී පැවැත්වීමට පළමුව සැලසුම් කර තිබුනත් COVID-19 වසංගතයේ පැතිර යාමත් සමඟ ඒවා දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවිය. ඒ අනුව පළමුව ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මාර්තු මස 26 වන දින Pyongyang හිදී උතුරු කොරියානු කණ්ඩායම සමඟත්, මාර්තු මස 31 වන දින කොළඹ දී දකුණු කොරියානු කණ්ඩායම සමඟත් සහ ඔවුන් තරග වදින H කාණ්ඩයේ අවසන් තරගය ලෙස මෙම මස 04 වන දින ලෙබනන් කණ්ඩායම සමඟ එරට දීත් තරග වැදීමට නියමිතව තිබුනි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව යෝජිත තරග දින:

  • ඔක්තෝම්බර් 08 (බ්‍රහස්පතින්දා) – උතුරු කොරියාව සහ ශ්‍රී ලංකාව (Away)
  • ඔක්තෝම්බර් 13 (අඟහරුවාදා) ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව (Home)
  • නොවැම්බර් 12 (බ්‍රහස්පතින්දා) ලෙබනනය සහ ශ්‍රී ලංකාව (Away)

තවත් කියවන්න; 

කෙසේ නමුත් ආසියානු පාපන්දු සම්මේලනය විසින් තවදුරටත් සියලුම කණ්ඩායම්, නිලධාරීන්, ක්‍රීඩා ලෝලීන් සහ මීට සම්බන්ධ වන සියලුම දෙනාගේ සෞඛ්‍ය සහ ආරක්‍ෂාව වෙනුවෙන් COVID-19 වසංගත තත්වය පිළිබඳව ඉදිරියටත් දැඩි අධීක්ෂණයකින් පසුවනු ඇත. තවද එම අදාළ රටවල් වල රජයන් පනවනු ලබන ගුවන් ගමන් සහ සෞඛ්‍ය සීමා කිරීම් පිළිබඳව ද ඔවුන් සැලකිල්ලෙන් පසුවනු ඇත. 

ඒ අනුව COVID-19 වසංගතයේ ඉහළ යාමක් හේතුවෙන් නැවතත් දැනට යෝජිත දින කල් දැමීමට සිදුවුවහොත් ඔවුන් ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුවත් කිරීමට කටයුතු කරනු ඇත.   

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<