Ronaldinho බන්ධනාගාර ජීවිතය ගැන හැඟුම්බර කතාවක

89
Ronaldinho

බ්‍රසීලයේ හිටපු පාපන්දු ක්‍රීඩක Ronaldinho නිවාස අඩස්සියට ලක්වීමෙන් අනතුරුව සිය පළමු සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඔහුගේ වත්මන් තත්වය පිළිබඳව අදහස් දක්වා ඇත. 

පැරගුවේ රාජ්‍යයට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඇතුළු වීමට තැත්කිරීමේ සිදුවීමකට අදාළව බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක Ronaldinho සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා පසුගිය මාර්තු මාසයේ මුල භාගයේ දී අත්අඩංගුවට පත්විය. අනතුරුව එහිදී ඔවුන් ඊට අදාළ පරීක්ෂණය අවසන් වනතුරු මාස 6ක උපරිම කාලයකට යටත්ව පළමුව බන්ධනාගාර ගත කිරීමට තීරණය කෙරුනේ ඔවුන්ට ඇප ලබාදී නිවාස අඩස්සියට ලක්කරන ලෙස සිදුකළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමිනි. කෙසේ නමුත් ඉන් දින 32කට පසුව එම නඩුව නැවතත් විභාගයට ගත් අවස්ථාවේ දී ඔවුන්ගේ එම ඉල්ලීම අනුමත කරනු ලැබූ අතර ඒ අනුව එතැන් සිට මේ දක්වා Ronaldinho මෙන්ම ඔහුගේ සොහොයුරාත් එරට Asuncion නගරයේ සුඛෝපභෝගී හෝටලයක් වන Palmogra හෝටලයේ නිවාස අඩස්සියට ලක්වී සිටිති. 

එහිදී නිවාස අඩස්සියට ලක්වීමෙන් අනතුරුව සිය පළමු සම්මුඛ සාකච්ඡාවට පසුගියදා එක්වෙමින් Ronaldinho ප්‍රකාශ කර සිටියේ ඔවුන්ට ලැබුනු එම පැරගුවේ රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධී ඒවා බව දැනගැනීමෙන් ඔවුන් ද පුදුමයට පත්වූ බවයි. 

“ඒ ගමන් බලපත්‍ර නීති විරෝධී ඒවා කියල දැනගත්තම අපි සම්පූර්ණයෙන්ම පුදුමයට පත්වුනා. ඒ වෙලාවේ ඉඳන් අපේ අරමුණ වුනේ අදාළ බලධාරීන් එක්ක කරුණු පැහැදිලි කරගන්න ඔවුන්ට සහයෝගය ලබාදෙන එක. ඒ අනුව එදා ඉඳන් අද දක්වාම අපි සිදුවුන හැමදෙයක්ම හොඳින් පැහැදිලි කළා වගේම අදාළ නිලධාරීන් අපෙන් ඉල්ලපු හැමදෙයක්මත් ඔවුන්ට ඉදිරිපත් කරන්න අපි කටයුතු කළා.” 

එමෙන්ම එහිදී ඔහු බන්ධනාගාර ගත වන බව දැනගත් මොහොතේ ඔහුට දැනුනු හැඟීම පිළිබඳව විස්තර කරමින් ඔහු මෙහිදී පවසා සිටියේ

“ඒක දරාගන්න ගොඩක් අමාරු වුනා. මට මේ වගේ සිදුවීමකට මුහුණ දෙන්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මගේ ජීවිතය පුරාවට මම උත්සාහ කළේ වෘත්තීයමය වශයෙන් උපරිම තැනකට යන්න සහ මගේ පාපන්දු ක්‍රීඩාව හරහා මිනිසුන්ට සතුටක් ළඟා කරලා දෙන්න.” 

ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඔහුට බන්ධනාගාරය තුළ පාපන්දු ක්‍රීඩාවේ යෙදීමට ඇති තරම් අවස්ථා ලැබුනු බවත්, අනෙක් රැඳවියන් නිරන්තරව ඔහුගෙන් සමරු සටහන් සහ ඔහු සමඟ ඡායාරූප ද ලබාගත් බවත් ය. 

ඔහු මෙලෙස අත්අඩංගුවට පත්වී බන්ධනාගාර ගත කෙරුනත් පැරගුවේ රාජ්‍යයේ අදාළ මිනිසුන් කෙරෙහි ඔහු තුළ කිසිඳු වෛරයක් නොමැති බවත්, මෙම අවස්ථාවට මුහුණ දීමේ දී ඔහුගේ ආගම ඔහුට මහත් සහයෝගයක් වූ බවත් මෙහිදී තවදුරටත් ඔහු අනාවරණය කළේය. 

“පැරගුවේ ජාතිකයින්ගේ ආගන්තුක සත්කාර, ආදරය වගේම ගෞරවය මම මෙහේට ආපු දවසේ ඉඳන් මට විඳින්න අවස්ථාව ලැබුනා. ඒකට මම ඔවුන්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ ආගම ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. හැමදෙයක්ම හොඳින් සිදුවෙන්න කියලා මම හැමතිස්සෙම යාඥා කරනවා. ඒ නිසා මම හිතනවා මේ හැමදෙයක්ම ඉක්මණින්ම අවසන් වෙයි කියලා.” 

තවත් කියවන්න;

ලොව පුරා ව්‍යාප්තව පවතින නව කොරෝනා වෛරස තත්වය හේතුවෙන් මෙම සම්මුඛ සාකච්ඡාව පුරාවට සමාජ දුරස්ථභාවය අනුගමනය කෙරුනු අතර තවද මයික්‍රෆෝන ආරක්ෂක ආවරණ යොදා ආවරණය කිරීමටත්, ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන අවස්ථාවන් වලදී හැර අනෙක් සෑම අවස්ථාවක දීම මුඛ ආවරණ පැළඳ සිටීමටත් මෙහිදී කටයුතු කෙරිනි. 

එමෙන්ම මෙම සිදුවීම අවසාන වූ වහාම ඔහු ඔහුගේ මව මුණගැසීමට යාමට බලාපොරොත්තු වන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් Ronaldinho පැවසීය. 

“මේවා ඉවර වුනාට පස්සේ මම මුලින්ම කරන්නේ මගේ අම්මා ළඟට ගිහින් ඇයව සිප වැළඳගන්න එක. මොකද මේ කොරෝනා වසංගතය පටන් ගත්ත දවසේ ඉඳලාම ඇය ඇයගේ නිවස තුළ ගොඩක් අමාරු කාලයක් ගත කරන්නේ. ඊට පස්සේ මේ සිදුවීම හරහා සිදුවුන හැමදෙයක්ම විඳ දරාගෙන විශ්වාසයෙන් සහ ශක්තියෙන් යුතුව ඉදිරි කටයුතු වල නිරත වෙන එක තමයි මගේ බලාපොරොත්තුව.”

ඒ අනුව Palmogra හෝටලයේ නිවාස අඩස්සියට ලක්වීමෙන් අනතුරුව පසුගිය දිනෙක ඔහුට පාපන්දු පුහුණුවීම සඳහා විශාල කාමරයක් මෙන්ම ඊට අවශ්‍ය උපාංග ද ලබා දීමට කටයුතු කෙරුනු අතර ඒ අනුව ඔහු මේ වන විට සතුටින් කාලය ගත කරන බව එම හෝටලයේ කළමණාකරු Emilio Yegros AFP මාධ්‍ය ජාලය සමඟ අදහස් දක්වමින් පවසා ඇත. 

“ඔහු දැන් සතුටින් ඉන්නේ. ඔහුගේ මුහුණේ හැමවෙලාවෙම ලොකු සිනහවක් තියෙනවා. ඔහුගේ සොහොයුරාත් එහෙමයි. ඔහු පළවෙනි දවසේ මෙහේ එනකොට හිටියට වඩා දැන් ඉන්නේ ලොකු සතුටකින් කියලා ඔහුගේ මුහුණ දැක්කම පේනවා. මොකද පළවෙනි දවසේ මෙහේ එනකොට ඔහු ගොඩක් කළකිරීමෙන් වගේ හිටියේ.” 

කෙසේ නමුත් මීට අදාළ පරීක්ෂණය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඊට අදාළව මේ වන විට පුද්ගලයින් රාශියක් අත්අඩංගුවට ගැනීමට ද අදාළ බලධාරීන් කටයුතු කර ඇත. මෙම සිදුවීම පිළිබඳව කරුණු දක්වමින් ඔහුගේ නීතීඥ Adolfo Marin පවසා ඇත්තේ ඔවුන්ට මෙම විදේශ ගමන් බලපත්‍ර ත්‍යාගයන් ලෙස ලැබී ඇති බවත්, ඔවුන් ඒවා වටිනාකමකින් තොර ගෞරව සහිත ලිපිලේඛන පමණක් බව සිතා ඇති බවත් ය. මේ පිළිබඳව තවදුරටත් විග්‍රහ කරමින් ඔහු පවසා ඇත්තේ ඔවුන්ගෙන් නිලධාරීන් අදාළ ලිපිලේඛන විමසීමේ දී Ronaldinho දැඩි අවධානයකින් තොරව ඔහුගේ බෑගයට අත දැමූ විට ඔහුගේ අත ගැටුනු පළමු දෙය ලෙස එම ව්‍යාජ ගමන් බලපත්‍රය අතපසුවීමකින් ඉදිරිපත් කර ඇති බවයි. 

කෙසේ නමුත් මෙම හේතු දැක්වීමට අදාළව බලධාරින් එතරම් සෑහීමකට පත්වී නොමැති බවට වාර්තා පළවන අතර මෙම සියල්ල මධ්‍යයේ වාර්තා පළවන්නට වූයේ බ්‍රසීලයේ ඇති වූ නෛතික ගැටළු, රජයට ගෙවිය යුතු බදු සහ දඩ මුදල් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් Ronaldinhoගේ බ්‍රසීල විදේශ ගමන් බලපත්‍රය මීට පෙර රාජසන්තක වී ඇති බවයි.

විශේෂාංග ලිපි; 

කෙසේ නමුත් මෙම සිදුවීමට අදාළව සිදුකරනු ලැබූ පරීක්ෂණ හරහා එය නැවතත් ඔහුට ලබා දීමට කටයුතු කර ඇති බවත්, පැරගුවේ රාජ්‍යයට පැමිණීම සඳහා බ්‍රසීලයේ Sao Paulo ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ඔහු භාවිතා කර ඇත්තේ එම බ්‍රසීල විදේශ ගමන් බලපත්‍රය බවටත් කරුණු අනාවරණය වන්නට විය. 

ඒ අනුව මෙම සිදුවීමට අදාළ සමස්ත පරීක්ෂණය අවසන් වනතුරු Ronaldinho සහ ඔහුගේ සොහොයුරාට නිවාස අඩස්සියටම ලක්වී සිටීමට සිදුවන අතර ඊට අදාළව ඔවුන් වැරදිකරුවන් බව ඔප්පු වුවහොත් ඔවුන්ව උපරිමය වසර 5ක කාලයකට යටත්ව බන්ධනාගාර ගතකිරීමේ හැකියාවක් ද ඇත. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<