නැවතුනු පළමු පෙළ ක්‍රිකට් ආරම්භයට දින වැටෙයි

1002

කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ල හේතුවෙන් තාවකාලිකව නවතා දැමුනු දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඊයේ (06) දින විශේෂ හමුවක් පවත්වා ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන්, තරගාවලි කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සෞඛ්‍ය බලධාරීන් සහභාගී වී තිබේ. 

එම රැස්වීමේ දී ලැබුනු ප්‍රතිචාර මත පදනම්ව පහත සඳහන් තරගාවලි පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුව තීරණය කර තිබේ. 

  • වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලිය 2020/21 – පෙබරවාරි මස 26 දින (අවසන් පූර්ව තරග) සහ 28 දින (අවසන් මහා තරගය) 
  • අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2020/21 – 2021 මාර්තු මස පළමු සතියේ දී 
  • අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2020/21 – 2021 මාර්තු මස මැද දී 

වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය සාර්ථක ලෙස අවසන් කර ගැනීමට අවස්ථාව ලැබුනු නමුත් 2020 වසරේ ඔක්තෝම්බර් මස 07 වන දින පැවැත්වීමට නියමිතව තිබූ එහි අවසන් පූර්ව තරග දෙක කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ල නිසාවෙන් අවස්ථාවන් දෙකක දී දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

එස්. එස්. සී. සහ බදුරලිය ක්‍රීඩා සමාජය මෙහි (වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලියේ) පළමු අවසන් පූර්ව තරගයට සුදුසුකම් හිමිකර ගෙන තිබෙන අතර කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ ලංකන් ක්‍රිකට් සමාජය මෙහි දෙවන අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගෙන සිටියි. 

2020/21 අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ 2020/21 අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන් තවමත් සැකසෙමින් තිබෙන අතර මෙම තරගාවලි පැවැත්වෙන සෞඛ්‍ය රෙගුලාසි පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ අවසන් නිගමනයකට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. තවද Tier A සහ Tier B ලෙස උසස් වීම් සහ පසුබැස්වීම් සිදුකිරීම දැනටමත් තාවකාලිකව නවතා තිබෙන අතර එය තවදුරටත් බලපැවැත්වෙනු ඇත. 

කණ්ඩායමකට තම සංචිතය වෙනුවෙන් උපරිම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු නම් කළ හැකි අතර එහිදී එක් තරගයක් සඳහා (එක් කණ්ඩායමකින්) එක් විදෙස් ක්‍රීඩකයෙකු හට පමණක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වේ. 

තවද 2021 වසරේ පෙබරවාරි මස 15 වැනිදා උදෑසන සිට 2021 පෙබරවාරි මස 22 වැනිදා සවස 5 දක්වා 2020/21 අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඒ ඒ ක්‍රීඩා සමාජ, ක්‍රිකට් සමාජ ඇතුළු කණ්ඩායම් සඳහා සිය කණ්ඩායම් වල ක්‍රීඩක සංචිතයන් ලියාපදිංචිය කිරීමට හැකියාව ඇත. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික වශයෙන් ගිවිසුම්ගත කර ඇති ක්‍රීඩකයින් හැර සෙසු එක් කණ්ඩායමක් සඳහා උපරිම ලෙස ක්‍රීඩකයින් 20 දෙනෙකු ලියාපදිංචි කිරීමට අවස්ථාව හිමි වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<