සිව්වැනි වරටත් ‘Corona’ වැලඳුණ පාපන්දු තරුව

111

ආජන්ටිනා ජාතික කණ්ඩායමේ සහ ඉතාලියේ Juventus කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක Paulo Dybalaගේ සිව්වැනි ‘Coronavirus’ පරීක්‍ෂණයෙන් ද ඔහු තවමත් එය ආසාදිතයෙක් බව තහවුරු වී ඇති බව වාර්තා වේ.

යුරෝපය තුළ ‘Coronavirus’ වසංගත තත්වයෙන් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් අතර ඉහළින්ම සිටින ඉතාලිය තුළ එය ආසාදිත වූ පළමු පාපන්දු ක්‍රීඩකයින් ගොන්න අතරට Dybala ද එක්වූයේ ඔහු සමඟ Juventus හි ක්‍රීඩා කරනු ලබන Daniele Rugani සහ Blaise Matuidi ද එහි දී එම වයිරසය ආසාදිතයින් බව තහවුරු වෙමිනි.

එහි දී පසුගිය මාර්තු 21 වන දින Dybala මේ බව තහවුරු කරමින් ප්‍රකාශ කර සිටියේ ඔහුත් ඔහුගේ පෙම්වතිය වන Oriana Sabatiniත් මෙම වයිරසයට ගොදුරු වී සිටින බවයි.

ඒ අනුව මේ වන විට ඔහුට එය පළමුව ආසාදිත වී සති 6ක පමණ කාලයක් ගතව ඇතත් පළවන වාර්තාවලට අනුව ඔහු තවමත් ඉන් සුවය ලබා නොමැත. මේ බව නැවත වරක් තහවුරු වී ඇත්තේ පසුගිය දා ඔහු එම රෝගය වැළඳීමෙන් පසුව සිදු කරනු ලැබූ සිව්වැනි ‘Coronavirus’ පරීක්ෂණයෙන් ද ඔහු තවමත් එම වයිරසය ආසාදිතයෙක් බව හෙළිවීමත් සමඟයි. කෙසේ නමුත් ඔහුගේ මෙම පරීක්‍ෂණ වාර්තා සිදු කරනු ලැබූ දින පිළිබඳව තවමත් කිසිදු නිල වාර්තාවක් මාධ්‍ය වෙත ඉදිරිපත් වී නොමැත. 

මෙම මස මුල භාගයේ දී Juventus විසින් Rugani සහ Matuidi වයිරසයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව නිල ප්‍රකාශයක් නිකුත් කරමින් තහවුරු කරනු ලැබූ අතර Dybala ද පසුගිය මාර්තු 27 වන දින Juventus නිල YouTube ගිණුමට ප්‍රකාශයක් නිකුත් කරමින් සිටියේ ඔහුගේ සෞඛ්‍ය තත්වය ද ඒ වන විට යහපත් අතට හැරෙමින් පවතින බවයි. 

“මට ගොඩක් තදට රෝග ලක්‍ෂණ බලපෑවා. නමුත් මේ වන විට මං ගොඩක් දුරට සනීප වෙලා ඉන්නේ. මට දැන් හොඳට ඇවිදින්න එහෙම පුළුවන්. ඒ නිසා මම පුහුණුවීම් කරන්නත් උත්සාහ දරනවා. මුලදී මට හුස්ම ගන්න පවා ගොඩක් අමාරු වුනා. විනාඩි 5ක වගේ කාලයකින් පස්සේ මට කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මගේ මාංශපේෂී වල ලොකු වේදනාවක් තිබුණා. නමුත් වාසනාවට මමත් Orianaත් දැන් සුව අතට හැරෙමින් ඉන්නේ.”

ඒ අනුව Juventus ප්‍රකාශකයෙකු ද ඔහුගේ අවසාන පරීක්‍ෂණ වල ප්‍රතිඵල නිකුත් වීමට පෙර CNN මාධ්‍ය ජාලය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ ඔහු මේ වන විට කිසිදු රෝග ලක්‍ෂණයක් පෙන්නුම් නොකරන බවයි.

“ඔහු ගොඩක් හොඳ තත්වයකින් ඉන්නවා. දැන් ඔහු කිසිම රෝග ලක්‍ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. පුහුණුවීම් කටයුතු පවා ඔහු මේ වන විට ආරම්භ කරලා තියෙන්නේ. ඒ අනුව මේ වෙද්දී ඔහු අවසන් පරීක්‍ෂණ දෙකේ ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් ඉන්නේ.”

තවත් කියවන්න;

කෙසේ නමුත් එම ප්‍රකාශ මධ්‍යයේ ද ඔහුගේ සිව්වැනි පරීක්‍ෂණය හරහා පසුගිය දා ඔහු තවමත් එම වයිරසය ආසාදිතයෙක් බව තහවුරු වූයේ ඉතාලියේ අග්‍රාමාත්‍ය Giuseppe Conte විසින් ක්‍රීඩකයින් හට ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු එළඹෙන සතියේ දී ආරම්භ කළ හැකි බව නිවේදනය කර තිබූ පසුබිමක් තුළයි. 

ඒ අනුව ඔහු දන්වා සිටි අන්දමට ක්‍රීඩකයින් හට එළඹෙන මැයි මස 04 වන දින සිට තනි තනිව සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කළ හැකි අතර ඉන් දින 14ක කාලයකට පසුව ඔවුන්ට කණ්ඩායම් වශයෙන් පුහුණුවීම් ආරම්භ කිරීමේ අවස්ථාව හිමි වේ. 

කෙසේ නමුත් පසුගිය මාර්තු මස 09 වැනිදා දින නියමයකින් තොරව කල් දැමුණු ඉතාලියේ Serie A ලීග් තරගාවලිය නැවතත් ආරම්භ කරනු ලබන දිනයක් මේ වන තෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<