“Ronaldoට තිබ්බේ ‘tricks’ තුන හතරක් විතරයි”

92

පෘතුගාලයේ Cristiano Ronaldoට වඩා බ්‍රසීලයේ Ronaldo Nazario ඉදිරියෙන් සිටින බව ප්‍රංශයේ හිටපු පාපන්දු ක්‍රීඩකයෙකු වන Mikael Silvestre පවසා ඇත. 

Mikael Silvestre විසින් එංගලන්තයේ Manchester United කණ්ඩායම සහ Arsenal කණ්ඩායම, ඉතාලියේ Inter Milan කණ්ඩායම ඇතුළු ප්‍රමුඛ පෙළේ පාපන්දු සමාජ රැසක් මෙන්ම ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම ද නියෝජනය කර ඇත. එහිදී FIFA Confederations Cup ශූරතාවය දෙවරක්, UEFA Champions League ශූරතාවය, අවස්ථාවන් කිහිපයක දීම එංගලන්ත Premier League ශූරතාවය ඇතුළු තවත් දේශීය තරගාවලි කිහිපයක්ම ජයග්‍රහණය කරමින් Silvestre ප්‍රබල පසුපෙළ ක්‍රීඩකයෙකු ලෙස සිය නාමය ස්ථාපිත කරගන්නට සමත් විය.

ඒ අනුව ඔහු Manchester United කණ්ඩායමේ ක්‍රීඩා කළ සමයේ Cristiano Ronaldo සමඟ මෙන්ම Inter Milan කණ්ඩායමේ ක්‍රීඩා කළ සමයේ බ්‍රසීලයේ Ronaldo Nazario සමඟ ද එකම කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට Silvestre හට අවස්ථාව හිමි වූයේ Ronaldo දෙපළ සමඟම එකට ක්‍රීඩා කිරීමට ලැබීමේ භාග්‍යයට හිමිකම් කියමිනි. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා අතර සංසන්දනයකට පිළිතුරු ලබා දෙමින් Silvestre පවසා ඇත්තේ Cristiano Ronaldoට වඩා බ්‍රසීලයේ Ronaldo භයානක ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වූ බවයි. 

“ඔහුව කිසිම අයෙකුට නැවැත්විය නොහැකියි. ඒ දවස් වල හැමෝම ඔහුට කිව්වේ ‘El Fenomeno’ කියලා. මම Lionel Messiට එරෙහිව වගේම Cristiano සමඟ එකට ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් වේගය අතින් ගත්තොත් නම් බ්‍රසීලයේ Ronaldo ගොඩක් ඉහළින් ඉන්නවා.” 

“ඒ විතරක් නෙමෙයි, ඔහුගේ හැමදේම ඉතා ඉහළ තලයක තිබුනේ. Cristiano ගත්තොත් අපිට අනුමාන කරන්න පුළුවන් ඔහු ගොඩක් අවස්ථා වලදී පාවිච්චි කරන ‘tricks’ තුන හතරක් තියෙනවා කියලා. නමුත් Ronaldo ගත්තොත් ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. ඔහු ඒ ඒ අවස්ථා වල අලුත් අලුත් දේවල් හොයාගන්නවා. ඒ නිසා අපිට බැහැ දකුණට හෝ වමට ඔහුව හඹායන්න. මොකද ඔහු කොහොමහරි ඒ වගේ අවස්ථා වලදී අපෙන් ගැලවිලා යනවා.” 

තවත් කියවන්න; 

“ඔහුට ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක ඉඳලා ගෝලයක් වාර්තා කරගැනීමේ හැකියාවක් තිබුනා. ඔහු සමහර අවස්ථා වලදී ගොඩක්ම ඔහුගේ එක කකුලක් මූලික කරගෙන විතරයි ඔහු ක්‍රීඩා කළේ. නමුත් එහෙම කරලත් ඔහු යුරෝපය පුරා ඉන්න පසුපෙළ ක්‍රීඩකයින් අභිබවන්න සමත් වුනා.” 

තම පාපන්දු දිවිය තුළ සමස්ත ගෝල 414ක් වාර්තා කරගනිමින්, 1994 සහ 2002 වසර වල පාපන්දු ලෝක කුසලාන තරගාවලි ද්විත්වය සහ Ballon d’Or සම්මානය 2 වරක් ඇතුළු තනි සහ කණ්ඩායම් ශූරතා රාශියක් දිනා ගන්නට බ්‍රසීලයේ Ronaldo Nazario සමත්ව ඇත. අනෙක් පසින් Cristiano Ronaldo මේ වන විට ඔහු අභිබවමින් සමස්ත ගෝල 725ක් වාර්තා කරගන්නට සමත් වූයේ පෘතුගාල ජාතික කණ්ඩායම සමඟ Euro 2016 තරගාවලි ශූරතාවය සහ පාපන්දු සමාජ සමඟ UEFA Champions League ශූරතාව 5 වරක් සහ Ballon d’Or සම්මානය 5 වරක් ඇතුළු තවත් සම්මාන සහ ශූරතාවලි රැසක් ජයග්‍රහණය කරමිනි. 

ඒ අනුව සංඛ්‍යා ලේඛණ හරහා තනි දක්ෂතා සලකා බැලූ විට Cristiano Ronaldo ඉදිරියෙන් සිටින බවක් දිස්වුවත් මෙහිදී බ්‍රසීලයේ Ronaldo Nazario පාපන්දු ක්‍රීඩාවේ ඉහළම ගෞරවය ලෙස සැලකෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලි ද්විත්වයක් ජයග්‍රහණය කර තිබීම සැලකිල්ලට ගත යුතු කරුණකි. එමෙන්ම බ්‍රසීලයේ Ronaldo සිය පාපන්දු දිවිය පුරාවට අවස්ථාවන් රැසක දී ආබාධ වලට මුහුණ දීම හේතුවෙන් ඔහුට සිය උපරිම දක්ෂතාවන් කරා ළඟා වීමට නොහැකි වූ බව ද බොහෝදෙනා විශ්වාස කරන කරුණකි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<