තමාට අපහාස කළ Neymarට Haalandගෙන් පිළිතුරක්!

98

ජර්මනියේ Borussia Dortmund ක්‍රීඩක Erling Haalandගේ ගෝල සැමරුම අනුකරණය කරමින් Neymar ප්‍රමුඛ PSG ක්‍රීඩකයින් විසින් ඔහුට සිදුකළ අපහාසයට Haaland ඔවුන් හට සිය ස්තූතිය පුදකර සිටියි. 

ප්‍රංශයේ Paris Saint-Germain (PSG) සහ Dortmund පාපන්දු සමාජය අතර පසුගිය මාර්තු මස 12 වනදා UEFA Champions League තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ දෙවන අදියරේ තරගයේ දී තරගය පුරාවට මෙන්ම තරගය අවසන් වූ පසු ද Neymar ප්‍රමුඛ PSG ක්‍රීඩකයින් විසින් ප්‍රතිවාදී ක්‍රීඩක Haalandගේ ගෝල සැමරුම අනුකරණය කරමින් ඔහුව දැඩි ලෙස හාස්‍යයට ලක්කළේය.

එහිදී එම වටයේ කණ්ඩායම් දෙක අතර පළමු අදියරේ තරගය Dortmundට අයත් ජර්මනියේ Signal Iduna Park ක්‍රීඩාංගණයේ දී පැවති අතර එය ගෝල 2-1ක් වශයෙන් ඔවුන් ජයග්‍රහණය කළේ Haaland විසින් එම ගෝල ද්විත්වයම වාර්තා කර ගනිමිනි. ඒ අනුව එම ගෝල වාර්තා කර ගැනීමෙන් අනතුරුව ඔහු එහිදී සුපුරුදු පරිදි සිය සංකේතාත්මක ගෝල සැමරුම ප්‍රදර්ශනය කරන්නට විය. 

කෙසේ නමුත් අනතුරුව PSGට අයත් Parc des Princes ක්‍රීඩාංගණයේ දී පැවති එහි දෙවන අදියරේ තරගය Neymar සහ Juan Bernat වාර්තා කරගනු ලැබූ ගෝල හරහා ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට PSG සමත් වූයේ Dortmund තරගාවලියෙන් ඉවතට ඇද දමමිනි. 

කෙසේ නමුත් මෙසේ PSG ක්‍රීඩකයින් ඔහුගේ ගෝල සැමරුම අනුකරණය කරමින් ඔහුව හාස්‍යයට ලක්කිරීමේ සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු එම සිදුවීම හරහා පසුතැවීමට ලක්නොවූ බවත්, භාවනා කිරීමේ වැදගත්කම පිළිබඳව ලෝකයට පෙන්වීමට ඔහු සමඟ එක්වෙමින් ඔවුන් ලබාදුන් දායකත්වයට ඔවුන්ට ස්තූතිවන්ත වන බවත් Haaland පවසා ඇත. 

තවත් කියවන්න;

“මම හිතනවා භාවනාව කියන එක ලෝකයට හඳුන්වා දීලා ඒකේ වැදගත්කම පෙන්නලා දෙන්න ඔවුන් මට ගොඩක් උදව් කළා කියලා. ඉතින් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා ඒකට මට උදව් කරපු එකට.” 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ පෘතුගාලයේ සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo ඔහුට ආදර්ශමත් චරිතයක් වන බවයි. 

“Ronaldoගේ මුහුණ දැක්කම කියන්න පුළුවන් ‘මම අද අනිවාර්යයෙන්ම ගෝල වාර්තා කරගන්නවා’ වගේ ඔහු සතුව තියෙන ශක්තිමත් ආකල්ප. ඔහු අවුරුදු ගාණක් තිස්සේ ඒ දේ සාර්ථකව කරලා තියෙනවා. ඔහුගේ ඒ අධිෂ්ඨානය, සාර්ථක වෙන්න වගේම ඒ අවස්ථාවේ හොඳම දක්ෂයා වෙන්න ඔහුට තියෙන ඒ උනන්දුවට තමයි මම ගොඩක්ම කැමති.” 

එමෙන්ම Dortmund කණ්ඩායමට ක්‍රීඩා කරමින් ලබාගත් සාර්ථක ආරම්භය පිළිබඳව ද ඔහු සතුටින් පසුවන බව මෙහිදී Haaland තවදුරටත් පවසා ඇත. 

“Dortmund සමඟ පළමු තරගයේ ඉඳලාම මට පුළුවන් වුනා සාර්ථක ආරම්භයක් ලබාගන්න. ඒ ගැන මම ඉන්නේ ගොඩක් සතුටින්. ඉතින් මේ වගේ සාර්ථක අවස්ථාවන් සමඟ හිනාවෙලා සතුටින් ඉන්න එක තමයි මට මගේ ජීවිතයට ගොඩක්ම වැදගත්. ඒ නිසා මම නිතරම උත්සාහ කරන්නේ පුළුවන් තරම් ඒ වගේ දේවල් වල නිරත වෙන්න.”  

“මට හිතෙනවා මම දිනෙන් දින දියුණු වෙනවා කියලා. මම කලින් ක්‍රීඩා කරපු Salzburg කණ්ඩායමට ගෞරව කරන අතරේම ඔවුන්ටත් වඩා හොඳ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කරන්න ලැබීමත් ඒකට හේතුවෙලා තියෙනවා. මොකද ඔවුන්ට පුළුවන් මාව තවත් හොඳ තත්වයන්ට රැගෙන යන්න. ඉතින් මම ඒ පිළිබඳව ගොඩක් සතුටින් ඉන්නේ.” 

තවමත් අවුරුදු 19ක තරම් තරුණ වයසක පසුවන Haaland, පසුගිය ජනවාරි මාසයේ දී Dortmund සමඟ එක්වීමට පෙර Salzburg නියෝජනය කරමින් ඔවුන් වෙනුවෙන් මෙම තරගවාරය තුළ සියලුම තරගාවලි වලදී ගෝල 28ක් වාර්තා කරගන්නට සමත් විය. අනතුරුව Dortmund සමඟ එක්වීමෙන් පසුව ද ඉහළ දක්ෂතා දක්වමින් සිටින ඔහු මේ වන විට ඔවුන් වෙනුවෙන් තරග 11ක් තුළ ගෝල 12ක් වාර්තා කරගන්නට සමත්ව සිටියි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<