Mumbai Indians නායකත්වයේ වෙනසක්!

IPL 2024

2824
IPL 2024

2024 IPL තරගාවලියේ දී Mumbai Indians කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Hardik Pandya හට හිමි වී තිබෙනවා.

ඒ අනුව 2013 වසරේ සිට වසර 10ක් නොකඩවා Mumbai Indians කණ්ඩායමට නායකත්වය ලබා දුන් Rohit Sharma සිය වගකීමෙන් ඉවත්ව යනු ඇති.

Mumbai Indians කණ්ඩායම සමඟින් සිය IPL චාරිකාව ආරම්භ කල Pandya පසුව 2022 වසරේ දී Gujarat Titans කණ්ඩායම සමඟින් එක් වෙමින් එම කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා. එහි දී 2022 IPL ශූරතාව සඳහා සහ 2023 IPL අනු ශූරතාව සඳහා  Titans මෙහෙයවීමට සමත් වූ Pandya මීට ටික දිනකට පෙර නැවත Mumbai Indians කණ්ඩායම සමඟ එක් වුනා.

දශකයක කාලයක් Mumbai වෙනුවෙන් නායකත්වය ලබා දුන් Rohitගෙන් Pandya වෙත නායකත්වය මාරු කිරීම කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් ගත් තීරණයක් බවයි Mumbai ගෝලීය ප්‍රධානී මහේල ජයවර්ධන විසින් සඳහන් කරන්නේ.

“එය උරුමය ගොඩ නැංවීමේ සහ MI දර්ශනය වන අනාගතය සඳහා සූදානම් වීමේ කොටසක්.”

එමෙන්ම Sachin Tendulkar, Harbhajan Singh සහ Ricky Pontingගෙන් පසුව Mumbai Indians කණ්ඩායමේ වගකීම බාරගත් Rohit Sharma වෙනුවෙන් සිය ගෞරවය පුද කිරීමට ද මහේල මෙහි දී අමතක කළේ නැහැ.

“ඔහුගේ (Rohitගේ) මග පෙන්වීම යටතේ MI වඩාත් සාර්ථක සහ ආදරය ලබන කණ්ඩායමක් බවට පත් වුනා. MI තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අපි ඔහුගේ මග පෙන්වීම සහ අත්දැකීම් බලාපොරොත්තු වනවා.”

Rohit Sharmaගේ නායකත්වය යටතේ Mumbai Indians කණ්ඩායම IPL සහ Champions League T20 තරග 163ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 91ක් ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා. එමෙන්ම ඔහුගේ නායකත්වය යටතේ Mumbai Indians විසින් 2013, 2015, 2017, 2019 සහ 2020 යන IPL තරගාවලිවල අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගත් අතර ඒ සියල්ල ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා.

IPL ශූරතා 5ක් වෙනුවෙන් MI වෙත නායකත්වය ලබා දී ඇති Rohit මෙතෙක් IPL ඉතිහාසයේ බිහි වූ වඩාත් සාර්ථතකම (MS Dhoni හා සම වෙමින්) නායකයකු ලෙස හඳුන්වා දිය හැකියි.

කෙසේ වෙතත් 2021 සහ 2022 IPL තරගාවලිවල දී Mumbai Indians කණ්ඩායම එතරම් සාර්ථකත්වයක් ප්‍රදර්ශනය කළේ නැහැ. එමෙන්ම 2023 වසරේ ද IPL Play-Offs වෙත පිවිසීමෙන් පසුව Pandyaගේ නායකත්වයෙන් යුත් Titans හමුවේ පරාජය වෙමින් තරගාවලියෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු වුනා.

එමෙන්ම නිමා වූ 2022 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව තවමත් ඉන්දියාව නියෝජනය කරමින් විස්සයි විස්ස තරගයකට සහභාගී නොවුණු Rohit වෙනුවට ඉන්දීය විස්සයි විස්ස නායකත්වය ද Pandya වෙත යොමු වුනා.

කෙසේ වෙතත් Mumbai Indians නායකත්වයේ වෙනසක් සිදු වුව ද Rohit තවදුරටත් පිතිකරුවකු ලෙස Mumbai සමඟ රැඳී සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.

2024 IPL තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<