ශ්‍රී ලංකා යෞවනයින් ආසියානු කුසලානයෙන් ඉවතට!

U19 Asia Cup 2023

1664
U19 Asia Cup 2023

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයෙන් ම ඉවත් වීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (13) දිනයේ දී සිදු වුනා.

තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරමින් අද දිනයේ දී බංග්ලාදේශය සමඟ පැවැත්වුණු තරගයෙන් ලද කඩුලු 6ක අවාසනාවන්ත පරාජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙසේ තරගාවලියෙන් ඉවතට විසි වීමට සිදු වුනා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදි අද උදෑසන ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශය සතු වූ අතර ඔවුන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ලෙස පුලිඳු පෙරේරා සහ රවිශාන් ද සිල්වා පිටියට පිවිසුණා.

පෙර තරග ද්විත්වයේ දී ලැබුණාට වඩා තරමක සාර්ථක ආරම්භයක් මෙවර ශ්‍රී ලංකා ඉනිමට ලබා දීමට ඔවුන් දෙදෙනා විසින් සමත් වූ නමුත් ඉනිමට ලකුණු 74ක් එක් වන විට ඔවුන් දෙදෙනා ම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට බංග්ලාදේශය සමත් වුනා.

එතැනින් පසුව පිටියට පිවිසි නායක සිනෙත් ජයවර්ධන, දිනුර කළුපහන, රුසඳ ගමගේ යන සියලු පිතිකරුවන් සිය ඉනිම් සඳහා හොඳ ආරම්භයන් ලබා ගත්ත ද ඒ එකඳු පිතිකරුවකු හෝ ලකුණු 30 සීමාව ඉක්මවා යෑමට සමත් වුනේ නැහැ.

නියමිත පන්දුවාර 50 අවසන් වන විට ශ්‍රී ලංකා යෞවනයින් විසින් කඩුලු 9ක් දැවී ලකුණු 199ක් ලබාගැනීමට සමත් වූ අතර ඒ වෙනුවෙන් ආරම්භක පිතිකරු පුලිඳු එක් කළ ලකුණු 28 ඉනිමේ ඉහළම ලකුණු ලෙස සටහන් වීම විශේෂත්වයක්.

ඔහු ද ඇතුළුව ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවන් හත් දෙනෙකු ලකුණු විස්සේ සීමාව පසු කිරීමට සමත් වූ නමුත් ඒ කිසිවකු හෝ විශාල ඉනිමක් කරා යාමට සමත් නොවීම ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200ට අඩු මට්ටමකින් නතර වීමට හේතු වූ බව හඳුනා ගත හැකියි.

මේ අතර බංග්ලාදේශය වෙනුවෙන් Wasi Siddiquee විසින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 200ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් බංග්ලාදේශ පිතිකරුවන් පිටියට පිවිසුණු නමුත් ගරුක සංකේත් විසින් බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල එක් ලකුණක දී දවා ගැනීමට සමත් වුනා. නමුත් ඉන් පසුව බංග්ලාදේශය කෙමෙන් සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් සිය ඉනිම ගොඩ නැංවීමට සමත් වූ අතර එහි අවසන් ප්‍රතිඵලය වුනේ පන්දුවාර 40 පන්දු 5ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ඔවුන් විසින් නියමිත ඉලක්කය හඹා යෑමට සමත් වීමයි.

මෙහි දී බංග්ලාදේශ ඉනිමේ බර තනිව කරට ගත් ආරම්භක පිතිකරු Ashiqur Rahman Shibli විසින් නොදැවී ලකුණු 116ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහුට පසුව ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Chowdhur Md Rizwanගේ පිත්තෙන් වාර්තා වුනේ ලකුණු 32ක් පමණයි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගරුක සංකේත් විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

  • ශ්‍රී ලංකාව– 199/9 (50) පුලිඳු පෙරේරා 28, සිනෙත් ජයවර්ධන 25, Wasi Siddiquee 3/32, Maruf Mridha 2/34
  • බංග්ලාදේශය– 204/4 (40.5) Ashiqur Rahman Shibli 116, Chowdhur Md Rizwan 32, ගරුක සංකේත් 2/56, මල්ෂ තරුපති 1/22

මේ අනුව බංග්ලාදේශ යොවුන් කණ්ඩායම විසින් මෙතෙක් තරගාවලියේ ක්‍රීඩා කළ තරග ත්‍රිත්වය ම ජයග්‍රහණය කරමින් B කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණේ රැඳීමට සමත් වුනා. එමෙන්ම අද දිනයේ දී ජපානයට එරෙහිව ලකුණු 107ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම B කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණෙමින් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වරම් දිනා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව තරගාවලියේ ආරම්භක තරගයේ දී ජපානයට එරෙහිව ලද දැවැන්ත ජයග්‍රහණය නිසා තවමත් ඉහළ දළ ලකුණු වේගයක් සහිතව සිටිය ද, නොකඩවා ලද පරාජයන් දෙක හේතුවෙන් ලකුණු සටහනේ තෙවන ස්ථානයේ රැඳීම නිසා තරගාවලියෙන් ඉවත්ව යාමට සිදු වනවා.

මේ අතර තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් ඊයේ (12) පැවැත්වුණු තරග ජයග්‍රහණය කිරීමට පාකිස්තානය සහ ඉන්දියාව විසින් සමත් වූ අතර ඔවුන් ලකුණු සටහනේ පෙරමුණේ ද රැඳෙමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානයේ මූලික වටයේ තරග මෙතෙකින් අවසන් වන අතර, තරගාවලියේ අවසන් පූර්ව තරග එළඹෙන සිකුරාදා (15) පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<