සවියෙන් පෙරට එද්දී – දිවියෙන් දැවී ගිය දකුණු ලකින් බිහිවු වේග පන්දු තරුව

277

ඩී. එල්. එස්‌. සමුගෙන වසර 35 යි

ඔහු මීට තිස්‌පස්‌ වසරකට පෙර දැයෙන් සමුගත්තේ මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් සැබවින්ම කම්පාවට පත් කරමිනි. වේග පන්දු යවන්නෙකුට උචිත මනා සුන්දර රූපකායකට හිමිකම් කියූ මොහු පන්දු යෑවීම සඳහා දිව එන රටාව ද සැබවින්ම ළඟන්නා සුලු විය. පාසල් වියේදී මෙන්ම මෙරට පළමු පෙළ ක්‍රිකට්‌ තරග මාලාවේදී පමණක්‌ නොව ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් සහභාගි වූ ජාත්‍යන්තර තරගවලදී ද ලෝක පූජිත පිතිකරුවන් ඔහුගේ පන්දු යෑවීම ඉදිරියේ අසරණ වූයේ වරක්‌ දෙවරක්‌ නොවේ. වේග පන්දුවට ත්‍රාසය, භීතිය මෙන්ම ලාලිත්‍ය ද එකතු කරමින් පිතිකරුවාගේ සිතුම් පැතුම් නොසිතූ විරූ ලෙස බිඳ දැමූ මොහු නමින් දේව ලෝකස්‌ ස්‌ටැන්ලි ද සිල්වාය. එසේත් නැත්නම් ඩී. එල්. එස්‌. ද සිල්වාය. නමුත් බොහෝ දෙනකු ඔහු හැඳින්වූයේ ඩී. එල්. එස්‌. හෝ ස්‌ටැන්ලි යන ආදර නාමයෙනි.

1956 වසරේ නොවැම්බර් මස 17 වැනි දින බලපිටියේදී උපත ලද ඩී. එල්. එස්‌. ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ක්‍රිකට්‌ රඟමඬලට දායාද කළ අගනා තිළිණයකි. 1969 වසරේ මහින්ද විදුහලේ 14 න් පහළ ක්‍රිකට්‌ පිලේ නායකත්වය දරමින් තුන් ඉරියව්වෙන්ම දස්‌කම් පෑ මොහු 1970 වසරේ 16 න් පහළ පිලේ නායකත්වය දරමින් දකුණු පළාත් ශූරතාවය දිනා ගත්තේ නායකත්වයේ වගකීම මැනවින් ඉටු කරමිනි. 1972- 76 කාල පරිච්ඡේදයේදී මහින්ද විදුහලේ පළමු පෙළ ක්‍රිකට්‌ පිල නියෝජනය කරමින් නැඟී එන යොවුන් වේග පන්දු යවන්නෙකු ලෙස විශිෂ්ට දස්‌කම් පෑ ඩී. එල්. එස්‌. 1976 වසරේ හොඳම පිට පළාත් පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

එම වසරේම අනුර රණසිංහගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ පිල නියෝජනය කරමින් පාකිස්‌තාන් පාසල් ක්‍රිකට්‌ පිලට එරෙහිව පාකිස්‌තානයේ පැවැති අලි භූතෝ කුසලාන සිව්දින තරග මාලාවට සහභාගි වූ මෙම අසිරිමත් පන්දු යවන්නා එම තරග, තරග පෙළේදී වේග පන්දු යවන්නෙකු ලෙස උසස්‌ දස්‌කම් ප්‍රදර්ශනය කළේ අලි භූතෝ කුසලානය ද ශ්‍රී ලංකා පිලට අත් කර දෙමිනි.

70 දශකය මැද භාගයේදී ඔහු රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ මහා ක්‍රිකට්‌ තරග දෙකකදී තරගයේ ආරම්භක පන්දුවටම ප්‍රතිවාදී පිතිකරුවාගේ මැද ඉන්න ඉවත්a කරමින් පිතිකරුවා දවා ගත්තේ රිච්මන්ඩ්- මහින්ද ක්‍රිකට්‌ ඉතිහාසයෙහි සදානුස්‌මරණීය සිහිවටනයක්‌ සනිටුහන් කරමිනි. 1977 වසරේ දකුණු පළාත් ක්‍රිකට්‌ පිල නියෝජනය කරමින් සංචාරක ඩෙරික්‌ රොබින්ස්‌ පිලට එරෙහිව වේග පන්දු යවන්නෙකු ලෙස දස්‌කම් පෑ ඩී. එල්. එස්‌. 1978 වසරේ සිංහල ක්‍රීඩා සමාජය ද 1979 වසරේÊබ්ලුම්පීල්ඩ් ක්‍රීඩා සමාජයද නියෝජනය කරමින් මෙරට පළමු පෙළ ක්‍රිකට්‌ තරග මාලාවේදී උසස්‌ දස්‌කම් පෑවේ මෙරට පිතිකරුවන්ගේ භීතිකාව බවට පත් වෙමිනි.

1979 වසරේ ඇල්චින් කල්චරන්ගේ නායකත්වය යටතේ පැමිණි සංචාරක කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපතිගේ පිල නියෝජනය කරමින් ගාල්ල මහජන ක්‍රීඩාපිටියේ පැවැති සීමිත ඕවර ක්‍රිකට්‌ තරගයට සහභාගි වූ මෙම වේග පන්දු යවන්නා එම තරගයේදී ලකුණු 49 කට කඩුලු 5 ක්‌ දවා ගත්තේ මෙරට ක්‍රිකට්‌ බලදරුවන්ගේ නෙත් සිත් තමා දෙසට යොමු කර ගනිමිනි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස කොදෙව් පිලට එරෙහිව සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවැති සීමිත ඕවර තරගයට සහභාගි වීමේ අවස්‌ථාව ඔහුට උදාවිය. එම තරගයේදී ද ලකුණු 29 කට කඩුලු 2 ක්‌ දවා ගනිමින් වේග පන්දු යවන්නෙකු ලෙස දස්‌කම් පෑ ඩී. එල්. එස්‌. එම වසරේම සංචාරක පාකිස්‌තාන් පිලට එරෙහිව සරා පිටියේ පැවැති එක්‌a දින තරගයට සහභාගි වූයේ ශ්‍රී ලංකා පිලේ අනාගත බලාපොරොත්තුව බවට පත්වෙමිනි.

සිය හැකියාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ භාග්‍ය හිමිකර ගත් මෙම යොවුන් ක්‍රීඩකයාට 1979 වසරේ එංගලන්තයේ පැවැති දෙවන ලෝක කුසලාන තරග මාලාවට සහභාගි වීමේ අවස්‌ථාව උදා විය. එම තරග මාලාවේදී අනුබද්ධිත රටවල් අතර පැවැති (ටෙස්‌ට්‌ වරම් අහිමි) තරග මාලාවේදී වේග පන්දු යවන්නෙකු ලෙස විශිෂ්ට දස්‌කම් පාමින් එම කුසලානය ශ්‍රී ලංකා පිලට අත්කර දීමට අමිල මෙහෙවරක්‌ ඉටු කළ ඩී. එල්. එස්‌. අනතුරුව පැවැති ලෝක කුසලාන තරග පෙළේදී ඔහු සහභාගි වූ (ශ්‍රී ලංකා පිල) තරග දෙකේදීම සුවිශේෂී දස්‌කම් පෑමට සමත් විය. ඒ ශ්‍රී ලංකා පිල ඉන්දීය පිල පරදවා ලද ඓතිහාසික ජයග්‍රහණයේදී කඩුලු 2 ක්‌ ද දවා ගනිමිනි.

එදා ඩී. එල්. එස්‌ කුමන ක්‍රීඩා පිටියක ක්‍රීඩා කළ ද එම ක්‍රීඩාපිටිය නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ගියේය. ඒ පන්දු යෑවීමේ වේගයට නොදෙවැනි වේගයෙන් පන්දුවට පහර දෙන රටාව ඔවුන් දැක බලා ගැනීමට කැමැත්ත දැක්‌වූ නිසාය. ආරෝහ පරිණාහ දේහයකටත්, සුන්දර රූපකායකටත්, හිමිකම් කියූ මෙම අසිරිමත් පන්දු යවන්නා එදා තමන්ගේ දස්‌කම් බැලීමට ක්‍රීඩා පිටියට පැමිණි කුඩා දරුවන් සමග කතා බහ කළ අයුරු ඔවුන්ට අද ද සිහිවන විට දෙනෙතට කඳුළු පිරෙන්නේ නිතැතිනි. එමෙන්ම පාසල් වියේදී මෙන්ම ඉන් පසුව ද තම ක්‍රිකට්‌ උපදේශකවරයා වූ මේජර් ජී. ඩබ්ලිව්. එස්‌. සිල්වා මහතාට ඔහු දැක්‌වූයේ අසීමිත ගෞරවයකි.

කිසිවෙකුත් බලාපාරොත්තු නොවූ අවස්‌ථාවක 1980 වසරේÊඅප්‍රේල් මස 12 වැනි දින බලපිටියේදී සිදු වූ හදිසි රිය අනතුරකින් ඔහු දැයෙන් සමුගත්තේ ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු නොවූ අවස්‌ථාවකය. එවැනි අවාසනාවන්ත සිදුවීමක්‌ සිදු නොවුණා නම් ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වේග පන්දු යවන්නා ලෙස ඔහු කිරුළ පළඳිනු නොඅනු මානය. ඩී. එල්. එස්‌. ඔබ මෙයින් වසර තිස්‌පහකට පෙර දැයෙන් සමුගත්තද ඔබ එදා ක්‍රිකට්‌පිටියේදී පෑ දස්‌කම් විස්‌කම් අදත් මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ මතකයේ රැඳී ඇත.

සොයුර, ඔබට නිවන් සුව