ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කරයි

National Cricket Selection Committee

2201

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීම සඳහා වන සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පත් කර තිබෙනවා.  

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මෙම නව තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර තිබෙන අතර අනෙක් සාමාජිකයින් ලෙස අජන්ත මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන සහ ඉන්දික ද සේරම් නම් කර තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා පුද්ගලයින් දස දෙනෙකුගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොමු කර තිබූ අතර එයින් නාම යෝජනා හතක් ජාතික තේරීම් කමිටු සභාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අනුමත කර තිබුණා.  

එම නාම යෝජනා හත අතුරින් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම පස් දෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුව නම් කර තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොමු කළ නාම යෝජනා අතරට හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ නාමය ද ඇතුළත් වූ බව වාර්තා වූවත් නව සභාපති ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන උපුල් තරංග පත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කරන බව මීට පෙර තහවුරු කර තිබුණා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව, 

  • උපුල් තරංග – සභාපති 
  • දිල්රුවන් පෙරේරා  
  • අජන්ත මෙන්ඩිස් 
  • තරංග පරණවිතාන  
  • ඉන්දික ද සේරම්  

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapare.comසූදානම්,රැඳී සිටින්නThePapare.comසමඟින්. 

>>තවත්ක්‍රිකට්පුවත්සඳහාපිවිසෙන්න<<