“මන්කාද් කරලා දසුන්ව දවා ගන්න අපි සැලසුම් කළේ නැහැ” – Rohit Sharma

India vs Sri Lanka 2023

3702

ඊයේ (10) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානකව දුවද්දී දවා ගැනීමට තිබූ අවස්ථාව ලබා නොගැනීමට හේතුව ඉන්දීය නායක Rohit Sharma විසින් තරගයෙන් අනතුරුව පැහැදිලි කළා.

දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වූ මෙම තරගයේ දී ඉන්දීය පිතිකරුවන් ලෙස Virat Kohli, Shubman Gill සහ නායක Rohit Sharma විසින් දියත් කළ ඉනිම්වලින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් අදාළ ඉලක්කය හඹා යාමේ දී නායක දසුන් ශානක විසින් සිය දෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකය රැස් කරමින් ශ්‍රී ලංකාව වෙත ගෞරවාන්විත පරාජයක් උරුම කර දුන්නා.

මෙහි දී තරගයේ අවසන් පන්දුවාරයේ ශානක ලකුණු 98ක් රැස් කර සිටි අවස්ථාවේ ඉන්දීය වේගපන්දු යවන Mohommad Shami විසින් ශානකව මන්කාද් කිරීමකට හසුකර ගනිමින් දුවද්දී දවා ගැනීමට උත්සාහ කළ අතර, ඒ මොහොතේ ඉන්දීය නායක Rohit Sharma විසින් විශිෂ්ට ක්‍රීඩාශීලීත්වයක් පෙන්වමින් එම ඉල්ලීම ඉවත් කර ගත්තා.

Rohitගේ මෙම ක්‍රියාව සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි ප්‍රශංසාවට භාජනය වුනා.

එම සිදුවීමෙන් පසුව ශානක විසින් අලංකාරවත් හතරේ පහරක් එල්ල කරමින් සිය ශතකය වාර්තා කිරීමට සමත් වුනා.

තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණි Rohit Sharma විසින් එම සිදුවීම සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා.

Shami විනිසුරු ඉල්ලීම කරද්දී ඔහු ඒක කළා කියලා මම කොහොමවත් හිතුවේ නැහැ. ඔහු (ශානක) ලකුණු 98 සිටියේ. ඔහු පිතිකරණයේ යෙදුණු විදිහ අතිවිශිෂ්ටයි. අපි ඔහුට ඒ ප්‍රශංසාව පුද කළ යුතුයි. අපිට ඔහුව ඒ විදිහට දවා ගන්න බැහැ. අපි ඔහුව දවා ගන්නවා කියලා හිතපු විදිහට ම ඔහුව දවා ගන්නයි අපිට අවශ්‍ය වුනේ. ඒක (මන්කාද් කිරීම) අපි ඔහුව දවා ගන්න හිතපු උපක්‍රමයක් නෙවෙයි. නමුත් ඔහුට අපේ සුබ පැතුම්. ඔහු ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා.”

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ශානක පන්දු 88කින් ලකුණු 108ක් රැස් කර ගෙන සිටි නමුත්, ශ්‍රී ලංකාවට ලකුණු 67ක පරාජයක් උරුම වුනා.

මෙම ජයත් සමඟින් තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර, තරගාවලියේ දෙවැනි තරගය හෙට (12) පැවැත්වීමට නියමිතයි.

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<