“Suryaගේ පිතිකරණය මගේ පන්දු යැවීම අධෛර්යයට පත් කරවන තරම් එකක්”

India vs Sri Lanka 2023

818

ඊයේ (07) ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වැනි විස්සයි විස්ස තරගයේ දී ඉන්දීය පිතිකරු Suryakumar Yadav විසින් පන්දු 51කින් ලකුණු 112ක් රැස් කිරීමට සමත් වූ අතර ඒ සමඟින් ඔහු වැඩිම විස්සයි විස්ස ශතක ලාභි ඉන්දීය පිතිකරුවන් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ද පත්වෙන්නට සමත් වුනා.

තම විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ තුන්වැනි ශතකය ලෙස ඊයේ Surya විසින් පන්දු 45ක් පමණක් වැය කරමින් සිය ශතකය සම්පූර්ණ කළ අතර එය මෙතෙක් ඉන්දියානුවකු ලබා ගත් දෙවැනි වේගවත් ම ශතකය ලෙස ද (Rohit Sharma විසින් පන්දු 35කින් ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ශතකය වේගවත් ම ඉන්දීය විස්සයි විස්ස ශතකයයි.) වාර්තා අතරට එකතු වුනා.

මෙහි දී ඉන්දීය ඉනිම අවසාන වන විට Surya විසින් ලබා ගෙන තිබූ ලකුණු 112ට හයේ පහර 9ක් (Surya විසින් විස්සයි විස්ස ඉනිමක එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව) සහ හතරේ පහර 7ක් අන්තර්ගත වූ අතර එය ප්‍රේක්ෂකයින් කුල්මත් කර වූ අතිශය ප්‍රවේගකාරී මෙන්ම, අලංකාරවත් ඉනිමක් ලෙස සඳහන් කළ හැකි. බොහෝ දෙනෙකුට Suryaගේ ඉනිම කෙතරම් විශිෂ්ට ද යන්න තවමත් සිය වචනවලින් විස්තර කර ගත නොහැකිවයි සිටින්නේ.

නමුත් ඉන්දීය නායක Hardik Pandya විසින් Suryaගේ මෙම ඉනිම වඩාත් නිවැරදි ලෙසින් අර්ථකතනය කිරීමට සමත් වුනා.

“මම ඔහුට පන්දු යැවුවා නම් ඔහු එල්ල කළ පහරවල ස්වභාවයෙන් ම මම අධෛර්යයට පත් වෙනවා. ඔහු හැමදාම හැමදෙනෙක්ව ම පුදුම කරවනවා, ඔබ දන්නවා ද ඔහු ක්‍රීඩා කරන විදිහට බලන අයට දැනෙන්නේ පිතිකරණයේ යෙදීම හරි පහසු වැඩක් කියලා. ඔහු දිගින් දිගටම අනර්ඝ ඉනිම් ක්‍රීඩා කරනවා, දැන් ඒක ඔහුගේ පුරුද්දක් වෙලා.

මට ඔහුට ගොඩක් දේවල් කියන්න අවශ්‍ය නැහැ, ඔහු දැන් ගොඩක් පරිණතයි. ඔහු දන්නවා හරියටම මොකක්ද වෙන්නේ කියලා. ඒ වගේම ඔහුට යම් දෙයක් ගැන සැකයක් ඇති වුනොත් අපි අනිවාර්යයෙන් ම ඒ ගැන යම් කතාබහක නිරත වෙලා එයට පිළිතුරක් හොයා ගන්නවා.”

තරගයෙන් අනතුරුව පැවැත්වුණු මාධ්‍ය හමුවට එකතු වුන Pandya ඒ විදිහට Surya ගැන තමන්ගේ අදහස ප්‍රකාශ කළා.

ඒ වගේම ඊයේ ඉනිමෙන් අනතුරුව මාධ්‍ය සමඟ කෙටි කතාබහක යෙදුණු Surya විශේෂයෙන්ම කියපු දෙයක් තමයි ඔහු තමන්ව නිතරම පීඩනයට භාජනයක කර ගනිමින් ක්‍රීඩා කරන බව.

“ඔබ ඕනෑම තරගයකට සූදානම් වෙද්දී තමන්ව ම පීඩනයකට භාජනය කර ගැනීම ගොඩක් වැදගත්. ඔබේ පුහුණු සැසිවල දී ඔබ මොකද කරන්නේ, ඔබේ චර්යා රටා මොන වගේ ද කියන එක ගොඩක් වැදගත්. පුහුණුවීම් වල දී ඔබ ඔබවම පීඩනයට පත් කර ගැනීම මගින්, තරගයක් ක්‍රීඩා කරද්දී ඔබට ක්‍රීඩා කිරීම පහසු වෙනවා.

ඇත්තටම මහන්සි වෙලා වැඩ කිරීම තමයි හේතුව, ඒ වගේම හොඳ පුහුණු වීම්.

පෙර සැලසුම් කළ පහරවල් කිහිපයක් ම තිබුණා (ඊයේ ඉනිම පිළිබඳ සඳහන් කරමින්) ඒ වගේම පන්දු යවන්නා වෙනස් පන්දු යොමු කළොත් ඔබ සතුව ඒ සඳහා පාවිච්චි කළ හැකි අන්දමේ පහරවල් තිබිය යුතුයි. ඔබ හැම පහරක් වෙනුවෙන් ම සූදානම් වෙලා සිටිය යුතුයි.”

එමෙන්ම තව දුරටත් අදහස් දක්වමින් Surya පවසා සිටියේ ඉන්දීය පුහුණුකරු Rahul Dravid තමන්ට කැමති ආකාරයෙන් පිතිකරණයේ යෙදීමට ඉඩ ලබා දෙන බවයි.

“ඔහු (Dravid) මට තරගය විඳින්න ඉඩ ලබා දෙනවා. මොන විදිහේ තරග වාතාවරණයක් තුල වුනත්, මම කරන්නේ මොකක්ද ඒ වෙනුවෙන් ඔහු මට ඉඩ දෙනවා. ඔහු කියන්නේ ‘ ඔබ වෙන්න, අවස්ථාව විඳින්න සහ තරගය වෙනස් කරන්නා බවට පත් වෙන්න උත්සාහ කරන්න’ කියලයි.

මේ අතර මෙතෙක් ඉන්දියාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ශතක ලාභි ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ වැජඹුණු KL Rahul (ශතක – 2) අබිබවා යාමට Surya (ශතක – 3) ඊයේ සමත් වූ අතර, දැනට ශතක 4ක් ලබා ඇති Rohit Sharma එම ලැයිස්තුවේ පළමු ස්ථානය දිනා ගෙන සිටිනවා.

ඉන්දු – ලංකා විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ඊයේ Suryakumar Yadavගේ පිතිකරණය නිසා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වූ අතර, තරගාවලිය ද 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වුනා.

නිමා වූ විස්සයි විස්ස තරගාවලියෙන් පසුව ලබන අඟහරුවාදා (10) ඉන්දු – ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේත් සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapar.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

Cricbuzz සහ Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<