ඉන්දීය ක්‍රිකට් අනාගතය Gill නම් කුමරුගේ භාරයට!

IPL 2023

5188

ඊයේ (26) දිනයේ Mumbai Indians කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ශතකයක් රැස් කරමින් මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගය කරා Gujarat Titans කණ්ඩායම රැගෙන යාමට සුවිසල් මෙහෙවරක් ඉටු කළ Shubman Gill හට ලොව දස දෙසින් අගය කිරීම් ලැබෙමින් පවතිනවා.

මෙවර තරගාවලියේ දී Gill විසින් ශතක තුනක් රැස් කිරීමට සමත් වී ඇති අතර, මෙහි වඩාත් විශේෂ සිදුවීම වන්නේ එම ශතක තුන ඔහු ක්‍රීඩා කළ අවසන් තරග 4 තුල දී වාර්තා කිරීමට සමත් වීමයි.

මේ ශතක අතරින් ඊයේ මුම්බායට එරෙහිව ලබා ගත් ශතකය ඔහු විසින් දියත් කළ හොඳම ඉනිමක් බව සහ IPL ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් දියත් කළ හොඳම ඉනිමක් බවත් බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙනවා.

ඔහු මෙහි දී ලකුණු 129ක් රැස් කළ අතර ඒ වෙනුවෙන් ඔහුට වැය වී තිබුණේ පන්දු 60ක් පමණයි. එමෙන්ම එම ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 10ක් ඇතුළත් කර ගැනීමට Gill විසින් සමත් වී තිබුණා. එමෙන්ම මෙම ඉනිම අතර මැද දී ඔහු විසින් මෙවර තරගාවලියේ ඉහළ ම ලකුණු ලාභියා ලෙස ද සිය නම සටහන් කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

මේ වන විට Gill විසින් මෙවර තරගාවලියේ ඉනිම් 16ක දී ලකුණු 851ක් ලබා ගැනීමට සමත් වී ඇත්තේ සිය පිතිකරණ සාමාන්‍යය 60.78ක් වැනි ඉහළ අගයක රඳවා ගනිමිනුයි.

ඔහු ඊයේ සිය ශතකය ලබා ගැනීමත් සමඟින් ම සමාජ මාධ්‍ය හරහා ඔහුට විශාල සුබ පැතුම් ප්‍රමාණයක් හිමි වූ අතර එම පණිවුඩ බොහෝමයක ඔහුව ඉන්දියාවෙන් ලොවට දායාද වූ අනාගත ක්‍රිකට් තරුව ලෙසයි හඳුන්වා දී ඇත්තේ.

මේ අතර හිටපු ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Yuvraj Singh විසින් ඔහුව හඳුන්වා දෙන්නේ ඉන්දීය ක්‍රිකට් වල නව කුමාරයා ලෙසිනුයි.

එමෙන් ම Mr.IPL යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Suresh Raina විසින් Gillගේ ඉනිම අගයමින් පවසන්නේ ඉන්දීය ක්‍රිකට් අනාගතය ඉතා දීප්තිමත් එකක් වනු ඇති බවයි.

එමෙන් ම IPL වල දී සහ දකුණු අප්‍රිකාව වෙනුවෙන් අග්‍රගණ්‍ය පිතිකරුවෙකු ලෙස සිය නම ගොඩ නගා ගත් AB de Villiers විසින් සඳහන් කරන්නේ Gillගේ ඉනිම අගය කිරීමට තරම් තම වාග්කෝෂය පුළුල් නොමැති බවයි.

එසේ පැවසූ AB විසින් පසු සටහනක් තබමින් තරගයේ අවස්ථාව හඳුනා ගැනීමට සහ අවස්ථානුකූල ව සිය ඉනිම වෙනස් කිරීමට Gill හට විශේෂ හැකියාවක් ඇති බවත් පවසනවා.

හිටපු එංගලන්ත නායක Michael Vaughan විසින් Gill ඉන්දීය ක්‍රිකට් වල මීළඟ වටිනා ම ක්‍රීඩකයා වනු ඇති බව අනුමාන කරනවා.

මීට අමතර ව Virender Sehwag, Virat Kohli, Rishabh Pant වැනි බොහෝ හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් Gillගේ මෙම විශිෂ්ට දක්ෂතාව ඇගයීමට ලක් කර තිබෙනවා.

මේ අතර Gillගේ ඉනිම සහ ඒ වෙනුවෙන් එල්ල කළ විශිෂ්ට පහරවල් අගය කරමින් Twitterහි පළ කර තිබූ තවත් සටහන් කිහිපයක් පහතින් දැක්වෙනවා.

ඒ අනුව ඊයේ තරගයෙන් ලද ප්‍රතිඵලය අනුව මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගය Chennai Super Kings සහ Gujarat Titans කණ්ඩායම් අතර හෙට (29) පැවැත්වීමට නියමිතයි. එමෙන්ම හෙට රාත්‍රි 7.30 පටන් මෙම තරගය සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<