Home Sinhala ශතකයේ දසුන් හිත සනසද්දී, ශ්‍රී ලංකාවට ලකුණු 67ක පරාජයක්!

ශතකයේ දසුන් හිත සනසද්දී, ශ්‍රී ලංකාවට ලකුණු 67ක පරාජයක්!

ශ්‍රී ලංකා පිළේ ඉන්දීය තරග සංචාරය - පළමු එක්දින තරගය

1903

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අරඹමින් ගුවාහාති හිදී පැවති පළමු එක්දින තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (10) සමත් වුනා.

කෙසේ වෙතත්, සියලු ජයග්‍රහණ බලාපොරොත්තු බොඳවී ගිය අවස්ථාවක නායක දසුන් ශානක හුදකලා සටනක් ලබා දෙමින් අවසන් පන්දුවාරයේ දී ලබා ගත් විශිෂ්ට ශතකය බොහෝ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බිඳී ගිය සිත් සුවපත් කරන්නට හේතු වූවාට නිසැකයි.

ළඟ ළඟම එන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් හොඳම කණ්ඩායම නිශ්චය කර ගැනීමට උත්සාහ කරමින් සිටින ඉන්දියාව අද තරගයට පිවිස තිබුණේ Kohli, Rohit, Iyer, Rahul වැනි දිගු ඉනිම් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් රැසක් පිරිවරා ගෙනයි.

මේ නිසාම ඔවුන්ගේ කණ්ඩායමේ, දින 3කට පෙර ප්‍රවේගකාරී T20 ශතකයක් වාර්තා කර ගත්, Surya Kumar Yadavට හෝ ඉන්දියාව වෙනුවෙන් වේගවත්ම ද්විත්ව ශතකයට හිමිකම් කියන Ishan Kishanට හෝ ඉඩක් තිබුණේ නැහැ.

ශ්‍රී ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරගයේ සිටි ක්‍රීඩකයින්ගෙන් සිදුකර තිබුණේ එක් වෙනස්කමක් පමණයි. ඒ මහීෂ් තීක්ෂණ වෙනුවට යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ තරගයට කැඳවමින්. මේ අනුව ඩිල්ශාන් මධුශංක අද ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට සමත් වුනා.

තරගය ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකා කණ්ඩායම : දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, ඩිල්ෂාන් මධුශංක.

ඉන්දීය කණ්ඩායම : Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Sheyas Iyer, KL Rahul, Hardik Pandya, Axar Patel, Mohammed Shami, Mohommed Siraj, Umran Malik, Yuzvendra Chahal.

පන්දු යවන්නන්ට වැඩි සහයක් නොමැති බව පෙනුණු තණතිල්ලේ ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා රිසි සේ ලකුණු ලබා ගැනීම ආරම්භ කළා. ඊට ඉන්දීය විනිසුරු අනිල් චෞද්‍රිගෙන් ද හිමි වුනේ නොමද සහයක්. ඔහු 11 වැනි පන්දුවාරයේ දී සහ 17 වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකාව කඩුල්ල මුවා කිරීමේ වරදට කළ ඉල්ලීම් දෙකක්ම නොසලකා හැරියා.

එම අවස්ථා දෙකේ දී ම ශ්‍රී ලංකාව DRS අවස්ථා උරගා බැලූව ද, පිටියේ විනිසුරු තීරණය වෙනස් කිරීමට සාක්ෂි ප්‍රමාණවත් මදි වුනා. ඒ අනුව තම ඉනිම තව තවත් දීර්ඝ කර ගැනීමේ වරම් ලද Rohit Sharma සහ Shubman Gill පළමු කඩුල්ලටම ලකුණු 143ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගුවා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් තම එල්ලය හා පතිතය වරද්දා ගත් සෑම මොහොතකම ඉන්දීය පිතිකරුවන් එම පන්දු හතරේ සීමාව කරා හරවා යැවීමට තරම් දක්ෂ වුනා. කෙසේ වෙතත්, සියලු තුරුම්පු අත්හදා බැලීමෙන් පසු ශ්‍රී ලංකා නායකයා තමන් විසින්ම පන්දු යැවීමට ගත් තීරණය සාර්ථක කර ගත්තේ Shubman Gillව ලකුණු 70කට දවා ගනිමිනුයි.

ඉතා ඉහළ ලකුණක් කරා යාමේ ලක්ෂණ පෙන්නුම් කළ Rohit Sharmaගේ කඩුල්ල බිඳ හෙළුවේ අද මංගල එක්දින වරම් දිනා ගත් ඩිල්ශාන් මධුශංකයි. දැවී යන විට විට ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 83ක් ලබා සිටියා.

නැවතත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගෙමින් තිබූ සබඳතාවය බිඳ දමන්නේ පන්දු යවන්නෙකු ලෙස දැඩි අවතක්සේරුවකට ලක්වී ඇති ධනංජය ද සිල්වායි.

දකුණත් පිට දඟපන්දු යවන්නන්ට වමත් පිතිකරුවන්ට පන්දු යැවීමේ වැඩි වාසි ඇති බව සත්‍යයක් වුවද, ධනංජය ද සිල්වා යන වේගය, එල්ලය සහ පතිතය මැනවින් පාලනය කර ගන්නා පන්දු යවන්නාට ඊට වඩා දෙයක් කළ හැකි බව ඔහු අද ඔප්පු කර පෙන්වූවා. ඒ භයානක අන්දමින් ඉහළ නගිමින් තිබූ ඉන්දීය ඉනිමේ ලකුණු වේගය සෑහෙන තරමකට පහත වට්ටවමින්.

මෙවන් වටපිටාවක ශ්‍රී ලංකාවට අවශ්‍යම කර තිබූ කඩුල්ල වූ විරාත් කෝලි දවා ගැනීමේ පහසු අවස්ථා දෙකක් කඩුලු රකින මෙන්ඩිස් සහ නායක ශානක අතින් ගිලිහී යාම තරගයේ තීරණාත්මක අවස්ථාවක් වුනා. කෝලි ලකුණු 52 දී සහ 81 දී දවා ගැනීමට තිබූ දෙවතාවේ දී ම අවාසනාවන්ත වූයේ පන්දු යැවූ කසුන් රාජිතයි.

ඒ අනුව විරාත් කෝලිට අද තම 45 වැනි එක්දින ශතකය වෙත යාමේ අවස්ථාව ශ්‍රී ලංකා පන්දු රකින්නන් උදා කළ බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. කෝලි අද තම ඉනිම අවසන් කළේ පන්දු 87කින් ලකුණු 113ක් වාර්තා කරමිනුයි. මෙය කෝලි ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කළ 9 වැනි එක්දින ශතකයයි.

යම් හෙයකින් කෝලි ලබා දුන් උඩපන්දුවක් රැක ගත්තා නම් පිතිකරණ හැකියාව අඩු ඉන්දීය පසුපෙළ වේලාසනින් විවර වීම මඟින් ඔවුන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව සැලකිය යුතු ගණනකින් අඩු කර ගැනීමට තිබූ කදිම අවස්ථාවක් ශ්‍රී ලංකාවට මඟ හැරී ගියා. මේ නිසාවෙන් සත්කාරක ඉන්දියාව තම ඉනිම අවසන් කළේ කඩුලු 7කට දැවැන්ත ලකුණු 373ක් ලබා ගනිමිනුයි.

මෙම දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගෙන් වැඩි ලකුණු ගණනක් අපේක්ෂා කළ ද, පිටියේ දකින්නට ලැබුණේ වෙනස්ම මුහුණුවරක් ගත් උත්සාහයකුයි. එහි දී ඉන්දීය පිතිකරුවන් හිතේ හැටියට ලකුණු ලබා ගත් තණතිල්ලේ ශ්‍රී ලංකා පිතිකරුවන් තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට දැඩි ආයාසයක් දරන අයුරු දැකගන්නට ලැබුණා.

එහි ප්‍රතිඵලය ලෙස අවිශ්ක ප්‍රනාන්දු වැරෙන් එල්ල කරන ලද පළමු පහරම වරද්දා ගත්තේ පන්දු 12කින් ලකුණු 5ක් පමණක් රැස් කරමින්. කුසල් මෙන්ඩිස් අද නිලකුණු පන්දු 3ක් පමණක් ක්‍රීඩා කර සිටිය දී Mohommed Siraj ඔහුගේ පිත්ත සහ පා ආවරණ අතරින් කඩුල්ල වෙත අනර්ඝ පන්දුවක් යොමු කළා.

මේ අවස්ථාවේ චරිත් අසලංක තම ඇඳුමේ රඳවා ගෙන සිටි ලේන්සුවක වැදී කඩුලු රකින්නා අතට ඇදී ගිය පන්දුවක් වෙනුවෙන් දැවී යාම පිළිගෙන ක්‍රීඩාගාරයට හැරී ගියා. එය ඉන්දීය විනිසුරුවන්ගේ ‘තවත් එක්’ වැරදි තීරණයක් වුවද එය නිවැරදි කර ගැනීමට ශ්‍රී ලංකාවට DRS අවස්ථා දෙකම ඉතිරිව තිබුණා.

මේ අතර පිත්තේ දැවටුණු පන්දුවක් සඳහා කඩුල්ල මුවා කිරීමේ තීරණයක් ලද පැතුම් නිස්සංක අද එම තීරණය අභියෝගයට ලක් කරමින් තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ භාග්‍යය උදාකර ගත්තා. ඔහු අද පන්දු 80කට මුහුණ දී ලකුණු 72ක් ලබා ගත්තේ ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා ලෙසයි. ඒ අතරතුර ඔහු හතරේ පහර 11ක් එල්ල කළා.

වරක ධනංජය ද සිල්වා සහ පැතුම් අතරේ ලකුණු 72ක හොඳ ලකුණු වේගයක් සහිත ධනාත්මක සබඳතාවයක් වර්ධනය වූවත්, ධනංජය දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම නැවතත් අගාධය කරා යෑම ආරම්භ වුනා. හතරේ පහර 9ක් සමඟින් අද ධනංජය පන්දු 40ක දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 47ක්.

පිට පිටම පන්දු 3ක දී හයේ පහර 2ක් සහ හතරේ පහරක් එල්ල කළ වනිඳු හසරංග අවසානයේ සිව්වැනි පන්දුවටත් වැරෙන් පහර දීමට යාමේ ප්‍රතිඵලය වූයේ Shreyas Iyer අතට පහසු උඩපන්දුවක් ලබා දීමයි.

හොඳ පිතිකරණ හැකියාවක් සහිත ක්‍රීඩකයෙකු වුවද වනිඳුගේ මෙම අනවශ්‍ය හදිසිය නිසා මේ වන විට සැළකිය යුතු තරග සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පිළෙන් ඈතට ගමන් කිරීම කණගාටුවට කරුණක්.

දුනිත් වෙල්ලාලගේ සහ චාමික කරුණාරත්න දැවී යාමත් සමඟ ලකුණු 206ට කඩුලු 8ක් ලෙස දිස්වුනු ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි මට්ටමට පැමිණෙන්නේ මේ අතරයි.

මේ මොහොතේ එක් අන්තයක සිටින කසුන් රාජිතවත් ආරක්ෂා කර ගනිමින් නායක දසුන් හුදකලාව තම ඉනිම ගොඩ නගන්නේ ලකුණු 150කට අධික ලැජ්ජා සහගත පරාජයකින් ශ්‍රී ලංකාව මුදා ගැනීමේ අටියෙනුයි.

ඒ අනුව එම පරතරය අඩු වී ශ්‍රී ලංකා නායකයාගේ ලකුණු පැස බරින් වැඩි වන විට ශතකයක සියුම් බලාපොරොත්තුවක් තරගය නැරඹූ බොහෝ දෙනාගේ සිතේ ඇති වුනා. ඒ අනුව ඉතාමත් ඉවසිල්ලෙන් පන්දු තෝරා බේරා ගනිමින් දුර්වල පන්දු හතරේ සීමාව කරා යැවූ දසුන්ට අවසන් පන්දුවාරයේ දී ශතකය වෙනුවෙන් ලකුණු 5ක් අවශ්‍ය වුනා.

Mohommed Shami යැවූ අවසන් පන්දුවාරයේ දී තම 98 වැනි ලකුණ ලබා ගැනීම සඳහා අන්තය මාරු කර ගත් දසුන්ට මීළඟ ගැටලුව වුනේ ඉතිරි ලකුණු දෙක වෙනුවෙන් නැවත පිතිකරණ අන්තය ලබා ගත හැකි වේවි ද යන්නයි.

මේ තීරණාත්මක මොහොතේ Shami විසින් ඉක්මන් ලකුණක් ලබා ගැනීමට උත්සාහ දැරූ දසුන්ව Mankad ආකාරයේ දුවද්දී දැවී යාමකට හසුකර ගත්ත ද ඉන්දීය නායකයා ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරම්න් එම දැවී යාම අනවශ්‍ය බව විනිසුරුවරුන්ට පවසා සිටියා.

ලැබුණු අවසරයෙන් රාජිත තම අන්තය මාරු කර ගනිද්දී, දසුන් ශානක තම ශතකය සපුරා ගත්තේ ඉනිමේ අවසන් පන්දු 2ට පිට පිටම හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමිනුයි. ඒ අනුව තරගය අවසන් වන විට ඔහු පන්දු 88ක දී නොදැවී ලකුණු 108ක් ලබා සිටියා. ශ්‍රී ලංකා ඉනිමේ අවසානය ලකුණු 306ට කඩුලු 8ක් ලෙසයි දැක්වුණේ.

9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු සියයක සබඳතාවයකට උර දී තම නායකයාට අසීරු ශතකයක් කරා යාමේ පාර කියා දුන් කසුන් රාජිත ඉනිම නිමා වන විට පන්දු 19කට මුහුණ දී ලකුණු 9ක් රැස් කරගෙන සිටියා. පන්දු යැවීමේ දී Umran Malik කඩුලු 3කට හිමිකම් කිව්වා. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ තරග දිනවන ශතකයකට හිමිකම් කියූ Virat Kohliටයි.

Result


India
373/7 (50)

Sri Lanka
306/8 (50)

Batsmen R B 4s 6s SR
Rohit Sharma b Dilshan Madushanka 83 67 9 3 123.88
Shubman Gill lbw b Dasun Shanaka 70 60 11 0 116.67
Virat Kohli c Kusal Mendis b Kasun Rajitha 113 87 12 1 129.89
Shreyas Iyer c Avishka Fernando b Dhananjaya de Silva 28 24 3 1 116.67
KL Rahul b Kasun Rajitha 39 29 4 1 134.48
Hardik Pandya c Wanidu Hasaranga b Kasun Rajitha 14 12 0 1 116.67
Axar Patel c Avishka Fernando b Chamika Karunaratne 9 9 0 0 100.00
Mohammed Shami not out 4 4 0 0 100.00
Mohammed Siraj not out 7 8 0 0 87.50


Extras 6 (b 0 , lb 1 , nb 0, w 5, pen 0)
Total 373/7 (50 Overs, RR: 7.46)
Bowling O M R W Econ
Kasun Rajitha 10 0 88 3 8.80
Dilshan Madushanka 6 0 43 1 7.17
Wanidu Hasaranga 10 0 67 0 6.70
Chamika Karunaratne 8 0 54 1 6.75
Dunith Wellalage 8 0 65 0 8.12
Dasun Shanaka 3 0 22 1 7.33
Dhananjaya de Silva 5 0 33 1 6.60


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Axar Patel b Umran Malik 72 80 11 0 90.00
Avishka Fernando c Hardik Pandya b Mohammed Siraj 5 12 1 0 41.67
Kusal Mendis b Mohammed Siraj 0 4 0 0 0.00
Charith Asalanka c KL Rahul b Umran Malik 23 28 3 0 82.14
Dhananjaya de Silva c KL Rahul b Mohammed Shami 47 40 9 0 117.50
Dasun Shanaka not out 108 88 12 3 122.73
Wanidu Hasaranga c Shreyas Iyer b Yuzvendra Chahal 16 7 1 2 228.57
Dunith Wellalage c Shubman Gill b Umran Malik 0 1 0 0 0.00
Chamika Karunaratne c Rohit Sharma b Hardik Pandya 14 21 2 0 66.67
Kasun Rajitha not out 9 19 0 0 47.37


Extras 12 (b 0 , lb 4 , nb 0, w 8, pen 0)
Total 306/8 (50 Overs, RR: 6.12)
Bowling O M R W Econ
Mohammad Shami 9 0 67 1 7.44
Mohammed Siraj 7 1 30 2 4.29
Hardik Pandya 6 0 33 1 5.50
Umran Malik 8 0 57 3 7.12
Yuzvendra Chahal 10 0 58 1 5.80
Axar Patel 10 0 58 0 5.80



මේ අනුව ශ්‍රී ලංකාවට තරගාවලි ජයක් ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් අනිද්දා (12) කල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් පිටියේ දී පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය ජය ගැනීම අනිවාර්ය වනවා. එම සියලු තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<