පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ICCය වෙත අභියාචනයක්!

574

ICC විසින් පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයට දෙවැනි වරටත් ලබා දඬුවම් ලකුණු ලබා දීමට ගත් තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

හිටපු PCB සභාපති Ramiz Rajaගේ ඉවත් වීමෙන් පසුව වගකීම් භාර ගත් Najam Sethi ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය විසින් ගත් මුල්ම තීරණවලින් එකක් අනුව මෙම අභියාචනය ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය දෙසැම්බරයේ එංගලන්ත සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වුණු රාවල්පින්ඩි පිටියේ ස්වභාවය පිළිබඳ සලකමින් ICC විසින් එම ක්‍රීඩාංගණයට දඬුවම් ලකුණක් (demerit point) ලබා දුන් අතර, එය ගිය වසරේ එම ක්‍රීඩාංගණය ලැබූ දෙවැනි දඬුවම් ලකුණයි.

“එය කිසිදු පන්දු යවන්නෙකුට කිසිදු සහයක් නොදුන් ඉතාමත් පැතලි තණතීරුවක් (Flat pitch). පිතිකරුවන් ඉතාමත් වේගයෙන් ලකුණු රැස් කිරීමටත්, කණ්ඩායම් දෙකම ඉහළ ලකුණු ලබා ගන්නත් එය තමයි හේතුව වුනේ. තරගය පුරාවට පිටියේ වෙනස් වීමක් සිදු නොවුන තරම්.”

එංගලන්තය සමඟ පැවැත්වුණු තරගයේ තීරක ලෙස කටයුතු කළ Andy Pycroft විසින් ක්‍රීඩාංගණය “Below par” මට්ටමේ (ටෙස්ට් පිටියකින් බලාපොරොත්තු වන ස්වභාවයට වඩා අවම ගුණාංග සහිත) තිබූ බව සඳහන් කරමින් පවසා තිබුණා.

එමෙන්ම ගිය වසරේ මාර්තු මාසයේ දී ඕස්ට්‍රේලියාව සහ පාකිස්තාන කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වුණේ ද මෙම රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ වන අතර, රාවල්පින්ඩි පිටිය පළමු දඬුවම් ලකුණ ලබා ගත්තේ එම තරගය හේතුවෙනුයි.

මේ අනුව රාවල්පින්ඩි ක්‍රීඩාංගණය මේ වන විට දඬුවම් ලකුණු දෙකක් ලබා ඇති අතර, යම් ක්‍රීඩා පිටියක් වසර පහක් ඇතුළත දඬුවම් ලකුණු පහක් ලබා ගතහොත් එයට මාස දොළහකට ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමේ තහනමක් පැනවෙනු ඇත.

මීට එරෙහිව අභියාචනය කිරීම Najam Sethi ප්‍රමුඛ නවක PCB නිළධාරී මණ්ඩලයේ පළමු කාර්යවලින් එකක් වූ නමුත්, මීට පෙර PCB වගකීම් දැරූ Ramiz Raja සිදුවීමට අදාළ කාලයේ මීට වඩා හාත්පසින් ම වෙනස් අදහසක් ක්‍රීඩාංගණය පිළිබඳ දැරීමත් විශේෂත්වයක්.

“ක්‍රිකට් ක්‍රීඩකයෙක් සභාපති විදිහට ඉඳිද්දී මෙහෙම දේවල් වෙන එක ලැජ්ජාවට කරුණක්. මෙය ක්‍රීඩාව පැත්තෙන් හොඳ දෙයක් නෙවෙයි. අපි මීට වඩා හොඳ ක්‍රිකට් දේශයක්.”

Ramiz Raja මීට පෙර එසේ පැවසුවත්, හදිසියේ ම සිදු වූ ඔහුගේ ඉවත් වීමෙන් පසු වගකීම් භාර ගත් Najam Sethi දෙසැම්බර් 26 (වගකීම් භාර ගෙන දින හතරකින්) මෙම අභියාචනය ඉදිරිපත් කර තිබෙනවා.

වත්මන් පාකිස්තාන ක්‍රිකට් සභාපති රාවල්පින්ඩි ක්‍රීඩාංගණය වෙනුවෙන් පෙනී සිටින අතරේ, අනෙක් පසින් ICC සහ Ramiz Rajaගේ සහයට තවත් බොහෝ පිරිසක් සිටින අතර හිටපු එංගලන්තය ක්‍රීඩකයින් මෙන්ම, අදාළ තරගාවලියේ විස්තර විචාරකයින් ලෙස ද කටයුතු කළ Nasser Hussain සහ Michael Atherton ද ඒ අතර සිටිනවා. රාවල්පින්ඩි තණතීරුව පිළිබඳ ඔවුන් සිය අසතුට ප්‍රකාශ කළ අතර, පාකිස්තාන නායකයා ද (Babar Azam) අදාළ කාලයේ එම තණතීරුවක් විවේචනයට බඳුන් කළා.

“ඔව් තණතීරුව සකස් කරද්දී මගේ දායකත්වයත් මම ලබා දුන්නා, අපිට අවශ්‍ය දේ අපි පැහැදිලි කළා. නමුත් කාලගුණය හෝ වෙන යම් හේතුවක් නිසා අපිට අවශ්‍ය වුන තණතීරුව ලැබුණේ නැහැ. අපිට අවශ්‍ය වුනේ දඟ පන්දු යවන්නන්ට යම් සහයක් සහිත තණතීරුවක්.”

පාකිස්තානය සහ එංගලන්තය අතර රාවල්පින්ඩි හී පැවති තරගය ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ විශාල අවධානයක් දිනා ගත් අතර ඉහළ මට්ටමේ මෙන්ම වේගයෙන් ලකුණු රැස් වූ ටෙස්ට් තරගයක් ලෙස එය ඉතිහාසයට එකතු වුනා.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන ලකුණු පෙනී ගියත් තරගයේ අවසාන මොහොතේ දී ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුනා.

එමෙන්ම ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගයේ දී බිඳ වැටුණේ කඩුලු 14ක් පමණක් වන අතර, එයින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම බිඳ දැමීමට සනත් වුනේ කඩුලු 4ක් පමණක් වීමත් විශේෂත්වයක්. එය ලෝක ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් ටෙස්ට් තරගයක සිදු කළ දුර්වලම පන්දු යැවීමක් ලෙසටත් වාර්තා පොත් වලට එකතු වුනා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<