Rohit සහ Kholiගේ T20 පරිච්ඡේදය අවසන් වෙයි ද?

India vs Sri Lanka 2023

1734

සුපිරි ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙක් වන Rohit Sharma සහ Virat Kohli නැවතත් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දී දකින්නට නොලැබේවි යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අතරේ, Rohit විසින් ඊයේ (09) දිනයේ මාධ්‍ය හමුවකට පැමිණෙමින් එම තොරතුරු පිළිබඳ සිය අදහස් පළ කළා.

මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක් වී තිබෙන ඉන්දීය විස්සයි විස්ස සංචිතවල සිදුකර ඇති ප්‍රතිසංස්කරණ තව දුරටත් පවත්වා ගෙන යනු ඇති බවත්, Rohit සහ Viratගෙන් තොර ඉන්දීය විස්සයි විස්ස සංචිතයක් Hardik Pandyaගේ නායකත්වයෙන් යුතුව පවත්වා ගෙන යනු ඇති බවත් NDTV ඉන්දීය පුවත් සේවය වාර්තා කරනවා.

2024 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් සකස් කළ දිගු කාලීන සැලැස්මක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණ ගෙන ඇති බවයි NDTV විසින් වාර්තා කරන්නේ.

ප්‍රවීණ ක්‍රීඩකයින් දෙදෙනා විසින් තමන් විස්සයි විස්ස සංචිත සඳහා තෝරා ගැනීම්වලට සහභාගී වීමට සූදානම් බව දැන්වුවත්, නවක කණ්ඩායමක් අනාගතය වෙනුවෙන් සූදානම් කරනා බවයි BCCI පාර්ශවයෙන් ප්‍රකාශ වී ඇත්තේ.

මේ අතර ඊයේ (9) මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් වත්මන් ඉන්දීය එක් දින නායක Rohit Sharma විසින් මෙම ආරංචි පිළිබඳ සිය අදහස් මෙසේ පළ කළා.

“පසුගිය කාලයේ පැහැදිලිව ම කිව්වා එක්දින ලෝක කුසලානය නිසා අපේ සමහර ක්‍රීඩකයින් හැම ක්‍රීඩා රටාවක්ම ක්‍රීඩා නොකරාවී කියලා. ඔබ තරග කාලසටහන බැලුවොත් පෙනේ වී එක දිගට තරග තියෙනවා. ඒ නිසා සමහර ක්‍රීඩකයින්ට වැටෙන වැඩ ප්‍රමාණය (Workload) සලකලා බලලා අපිට අවශ්‍ය වුනා ඔවුන්ට යම් විවේකයක් ලබා දෙන්න. ඒ වගේම මමත් ඒ ක්‍රීඩකයින් අතරට වැටුණා.

අපිට විස්සයි විස්ස තරග හයක් විතරයි තියෙන්නේ, තුනක් (ශ්‍රී ලංකාව සමඟ)දැන් ඉවරයි. නවසීලන්තය සමඟ තව තුනක් ඉදිරියට තියෙනවා. ඒ නිසා අපි අපේ ක්‍රීඩකයින් IPL වෙනකම් බලාගන්නවා, ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලනවා. නමුත් මට මේ තරග රටාව අත් හැරලා දාන්න කිසිම අදහසක් නැහැ.”

මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ වැඩිම ලකුණු ලාභියා වන්නේ ලකුණු 4008ක් රැස් කර ගෙන සිටින Virat Kohli වන අතර, අපේ අනෙක් කතා නායකයා Rohit Sharma එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටින්නේ ලකුණු 3853ක් ලබා ගනිමිනුයි.

Rohit Sharma මෙම අදහස් ප්‍රකාශ කළේ අදින් ආරම්භ වීමට නියමිත ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියට ප්‍රථම පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවේ දී වන අතර, එහි දී ඔහු මාධ්‍යවේදීන් සතු වූ තවත් ගැට‍ලුවකට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ අද (10) පැවැත්වෙන පළමු එක් දින තරගයේ දී Ishan Kishan වෙනුවට Shubman Gill ආරම්භ පිතිකරු ලෙස ක්‍රීඩා කරනු ඇති බවයි.

ඉන්දියාව ක්‍රීඩා කළ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ දී (බංග්ලාදේශයට එරෙහිව) ද්විත්ව ශතකයක් රැස් කිරීමට Ishan විසින් සමත් වූ අතර, අනෙක් අතට ගිය වසරේ නැවත කණ්ඩායමට එක් වීමෙන් පසු මෙතෙක් ඉන්දියාව වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු වාර්තා කළ ක්‍රීඩකයා වීමට (ලකුණු 638, සාමාන්‍ය 70.88) Gill සමත් වී තිබෙනවා.

” ආරම්භක පිතිකරුවන් දෙදෙනාම හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා, නමුත් පසුගිය තරගවල වැඩියෙන්ම ලකුණු රැස් කර ගෙන සිටින Gillට අවස්ථාවක් ලබා දීම සාධාරණයි. ඒ වගේම මම Ishanව අවතක්සේරුවට ලක් කරන්නේ නැහැ. ඔහු ද්විත්ව ශතකයක් පවා ලබා ගන්න සමත් වුනා, මම දන්නවා ද්විත්ව ශතකයක් ලබා ගැනීම මොන වගේ දෙයක් ද කියන්න. ඒක විශිෂ්ට දෙයක්. නමුත් අවංකව ම පසුගිය කාලයේ හොඳින් ම ක්‍රීඩා කළ ක්‍රීඩකයාට අවස්ථාව ලබා දීම සාධාරණයි.”

Rohit Sharma එසේ කරුණු පැහැදිලි කළා.

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුණු අවසන් විස්සයි විස්ස තරගයේ දී විශිෂ්ට ශතකයක් පවා රැස් කළ Suryakumar Yadavට පවා අද තරගයේ දී අවස්ථාවක් හිමි නොවනු ඇති අතර, Ishan නොමැති නිසා KL Rahul අද තරගයේ දී ඉන්දියාව වෙනුවෙන් කඩුලු රැකීමේ නිරත වනු ඇත.

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

NDTV සහ ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<