ටෙස්ට් ලෝක ශූරයින් වෙන්න ශ්‍රී ලංකාව කළ යුතු දේ!

ICC World Test Championship

1002

ඊයේ (08) නිමාව දුටු ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ (ICC World Test Championship) ලකුණු සටහන නැවත වෙනස් වූ අතර, දැන් දකුණු අප්‍රිකාවේ අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තු බොහෝ දුරට සුන් වී ඇති නමුත් ශ්‍රී ලංකාවේ අවසන් මහා තරග බලාපොරොත්තු තවමත් ජීව මානව පවතිනවා.

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියට අදාලව තවත් ඉතිරිව පවතින්නේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලි තුනක් පමණයි. තරගාවලියේ අවසන් මහා තරගය මෙම වසරේ අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත අතර ශූරතාවලි ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් දෙකට ශූරතාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වනවා.

මේ වන විට මුල් කණ්ඩායම් දෙක අතරට පැමිණීමේ සටනේ ප්‍රධාන සටන්කරුවන් ලෙස ඉතිරිව සිටින්නේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් වන අතර, ඊට අමතරව දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම්වලට ඉතා සුළු මට්ටමේ අවස්ථාවන් ඉතිරිව පවතිනවා.

ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට ඒ ඒ කණ්ඩායම්වලට ඇති අවස්ථාවන් පිළිබඳ විමසා බලමු.

ඕස්ට්‍රේලියාව

දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමත් සමඟින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය ලකුණු ප්‍රතිශතය 76.56%ක් ලෙස සටහන් කර ගැනීමත් සමඟින් සටනේ පෙරමුණේ පසුවන අතර, ඔවුන් එළඹෙන ඉන්දීය සංචාරයේ දී ඉන්දියාව හමුවේ තරග 4 ම පරාජය වීම සහ ශ්‍රී ලංකාව එළඹෙන නවසීලන්තය සංචාරයේ දී නවසීලන්තයට එරෙහි තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීම මත පමණක් ඕස්ට්‍රේලියාවට ලෝක ශූරතාවලියෙ අවසන් මහා තරගය මග හැරී යනු ඇත.

ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියාව තරග 4ම පරාජය වුවහොත් ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 59.65%ක් වනු ඇති අතර, ශ්‍රී ලංකාව නවසීලන්ත කණ්ඩායම 2-0ක් ලෙස පරාජය කළහොත් ඔවුන් ලකුණු ප්‍රතිශතය 61.1%ක් බවට පත් කර ගනිමින් ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණෙනු ඇත.

ශ්‍රී ලංකාව 1-0ක තරගාවලි ජයග්‍රහණයක් ලැබුවහොත් ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 55.56%ක් වනු ඇති අතර, ඕස්ට්‍රේලියාව තරග හතර ම පරාජය වුවත් ඔවුන්ට අවසන් මහා තරගය පිවිසීමේ අවස්ථාව උදා වනු ඇත.

අනෙක් කණ්ඩායම් මත රඳා නොපවතිමින් අවසන් මහා තරගය වෙත යාමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවම වශයෙන් ඉන්දියාව සමග තරගාවලිය සම කර ගැනීම හෝ 3-0ක් ලෙස පරාජය වීමත් සමග දඬුවම් ලකුණු නො ලබා සිටීම පමණක් ප්‍රමාණවත් වෙයි.

ඉන්දියාව

ඉන්දීය කණ්ඩායමට අනෙක් කණ්ඩායම් මත රඳා නොපැවති අවසන් මහා තරගය වෙත යාමට අවශ්‍ය අවම සුදුසුකම වන්නේ ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලි 3-1ක් ලෙස ජයග්‍රහණය කිරීමයි.

බංග්ලාදේශය සමඟ ගිය වසරේ පැවති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමත් සමඟින් ලකුණු ප්‍රතිශතය 58.93%ක් ලබා සිටින ඉන්දියාව ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 4-0ක තරගාවලි ජයක් ලැබුවහොත් ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 68.06%ක් වනු ඇති අතර, තරග 3-1ක ජයක් ලැබුවහොත් එය 62.5%ක් බවට හරවා ගැනීමට හැකි වනු ඇත.

නමුත් තරගාවලිය 2-2ක් ලෙස සම මට්ටමින් අවසන් වී, ශ්‍රී ලංකාව නවසීලන්තය ඉදිරියේ 2-0ක ජයක් ලැබුවහොත් ඔවුන්ට ලකුණු සටහනේ තුන් වන ස්ථානය තෙක් පසු බැසීමට සිදු වන අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.

එමෙන්ම ඉන්දීය කණ්ඩායම ඉදිරි තරගාවලියේ දී ලකුණු 21කට වඩා අඩුවෙන් ලබා ගන්නා අතරේ (1-1 ලෙස තරගාවලිය සම වීමෙන්) දකුණු අප්‍රිකාව විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2-0ක් ලෙස පරාජය කළහොත් ඉන්දියාව ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය තෙක් පසු බැසීමේ අවදානමක් ද පවතී.

දැනට ලකුණු ප්‍රතිශතය 48.72%ක් ලෙස සටහන් කර ගනිමින් ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට යෑමට නම් ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය 2-0ක් ලෙස අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතු අතර, නවසීලන්තය අඩුම තරමේ ශ්‍රී ලංකාව හමුවේ 1-0ක් ලෙස පරාජය වීම සහ ඉන්දියාව ඉදිරි තරගාවලියේ ලකුණු 21කට වඩා අඩුවෙන් ලබා ගැනීමත් සිදු විය යුතුයි.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ශූරතා අවසන් මහා තරගයේ ඉඩක් වෙන් කර ගැනීමට නම් ඉදිරි නවසීලන්ත තරගාවලිය අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතු අතර, එම ජයග්‍රහණය 2-0ක් ලෙස සිදු වේ නම් ශ්‍රී ලංකාවට ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය වනු ඇත.

නවසීලන්තය 2-0ක් ලෙස පරාජය කළ හැකි නම් ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය 61.11%ක් ලෙස ඉහළ නැංවෙනු ඇති අතර, ඒ වන විට ඉන්දියාව විසින් ඕස්ට්‍රේලියාව 4-0ක් ලෙස පරාජය කර තිබීම හෝ එම තරගාවලිය සම මට්ටමින් අවසන් වී තිබීම හෝ ඕස්ට්‍රේලියාව විසින් තරගාවලිය ජයග්‍රහණය කිරීම යන අවස්ථාවන් තුනෙන් එකක් මත ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට ප්‍රවිෂ්ට වීමේ හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාව විසින් නවසීලන්තය සමඟ තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කළහොත් ඔවුන්ට ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලියේ දී ලකුණු 12කට අඩුවෙන් ලබා ගන්නා තෙක් (3-1 ක් හෝ 1-0ක් ලෙස ඕස්ට්‍රේලියාව හමුවෙ පරාජය වීම) සහ දකුණු අප්‍රිකාව 1-0ක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරන තෙක් බලා හිඳීමට සිදුවනවා.

නවසීලන්තය, පාකිස්තානය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය යන කණ්ඩායම් මීට අමතරව මෙම ලකුණු සටහනේ සිටියත්, ඒ අතරින් අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තුවක් තබා ගැනීමට යම් තරමක හෝ සාධනීය අවස්ථාවක් ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම්වලට පමණයි.

ඉතිරි වී ඇති තීරණාත්මක තරගාවලි තුන ද මෙම වසරේ මාර්තු මාසයේ අග බාගය වන විට අවසන් වීමට නියමිත අතර ඒ වන විට ඉහත සඳහන් කළ ආකාරවලින් එකකින් මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙකක් තේරී පත් වී සිටිනු ඇත.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ඉදිරි තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<