අයෝමාල් තමන්ගේම වාර්තාව අලුත් කරයි

Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

277
Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

දින හතරක් පුරාවට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනය වූ අද (14) දිනය අවසන් වන විට නව වාර්තා තුනක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

අද උදෑසන පැවති වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 800 ඉසව්ව මිනිත්තු 2:14.02ක කාලයකින් අවසන් කරමින් තරගාවලි වාර්තාවකින් දිනය ආරම්භ කිරීමට ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයේ ටී. ඒ. ප්‍රේමසිරි සමත් වුනා.

දිනයේ අනෙක් තරගාවලි වාර්තාව බිඳ හෙලුවේ කඩුලු පැනීමේ ක්‍රීඩක අයෝමාල් අකලංකයි. 18න් පහළ බාලක මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව සඳහා සහභාගී වූ ඔහු එම ඉසව්ව තත්පර 51.85ක කාලයකින් අවසන් කරමින් ඔහු විසින්ම ඊයේ (13) පිහිටවූ වාර්තාව අලුත් කළා.

තරගාවලියේ වැඩි අවධානයක් දිනා ගත් මීටර් 200 ඉසව්වේ අවසන් තරග අද පැවති අතර එහි 16න් පහළ බාලිකා ඉසව්ව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඩී. ප්‍රනාන්දු තත්පර 25.61ක කාලයකින් අවසන් කළේ නව තරගාවලි වාර්තාවක් ද සමඟයි.

එම ඉසව්වේ 16න් පහළ බාලක ඉසව්ව තත්පර 22.98ක කාලයකින් ඉසව්ව අවසන් කළ එම්. බෝගොඩ විසින් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරද්දී, 18න් පහළ බාලිකා තරගයේ ජය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ජේ. විජේතුංග (තත්පර 26.28) සතු වුනා.

18න් පහළ බාලක ඉසව්ව තත්පර 22.51ක කාලයකින් අවසන් කළ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ එස්. මාරියෝ ඉසව්ව ජයග්‍රහණය කළ අතර 20න් පහළ බාලිකා ඉසව්වේ ජයග්‍රහණය ලැබුවේ ජාතික තලයේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වන දිනාර බණ්ඩාර විසිනුයි (තත්පර 25.04).

පන්නල මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ එස්. ටී. කුමාර 20න් පහළ මීටර් 100 ඉසව්ව ජයග්‍රහණ කිරීමට සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 21.70ක්.

අද දිනයේ පැවති මීටර් 800 ඉසව්වේ 16න් පහළ බාලක ඉසව්ව මිනිත්තු 2:00.25ක කාලයකින් අවසන් කළ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ එස්. අවිශ්කා ප්‍රථම ස්ථානය දිනා ගනිද්දී, අවුරුදු 18න් පහළ බාලිකා ඉසව්ව ජයග්‍රහණය කරමින් ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ ඩී. ප්‍රදීපනී සිය දෙවැනි රන් පදක්කම දිනා ගත්තා.

16න් පහළ බාලිකා උස පැනීම ඉසව්වේ ආධිපත්‍ය රඳවා ගනිමින් ජයග්‍රහණය කිරීමට දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නේත්‍රා සමාධි (මීටර් 1.64) සමත් වූ අතර 18න් පහළ බාලක තුන් පිම්ම ඉසව්වේ දී මීටර් 14.73ක දස්කමක් පෙන්නුම් කළ එස්. හංසක ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කළා.

>>තරගාවලියේ මෙතෙක් තරග ප්‍රතිඵල<<

තරගාවලියේ තවත් උණුසුම් ඉසව් කිහිපයක් හෙට (15) පැවැත්වීමට නියමිත අතර එම ඉසව් ඇතුළු තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<