අයෝමාල් රිදී දිනද්දී, නිලුපුල්ගෙන් ලෝකඩ පදක්කමක්

යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2023

216

ට්‍රිනිඩෑඩ් හී පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වලින් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ (09) සමත් වුනා.

තරගාවලියේ දිනූ එකම රිදී පදක්කම දිනා ගැනීමට අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරන අයෝමාල් අකලංක සමත් වූ අතර පිරිමි මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කළ ඔහු තත්පර 51.61ක දස්කමක් දක්වමින් එම පදක්කම ජයග්‍රහණය කළා.

මෙය ඔහු එම ඉසව්ව සඳහා වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාවය ලෙස ද සටහන් වූ අතර ඔහු තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී තත්පර 51.99ක කාලයකින් තරගය අවසන් කළා.

අයෝමාල්ට පසුව ජයග්‍රහණය කළ අනෙක් එකම පදක්කම දිනා ගත්තේ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නිළුපුල් තේජන විසිනුයි.

උස පැනීමේ ඉසව්ව නියෝජනය කළ නිළුපුල් මීටර් 2.00ක දස්කමක් දක්වමින් එම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ අතර එම ඉසව්වේ මීටර් 1.95ක දස්කමක් දැක්වූ ලෙසඳු අර්ථවිදු හතරවැනි ස්ථානය දිනා ගත්තා.

එමෙන්ම කාන්තා මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කළ ශලනි හංසිකා තත්පර 1:03.44ක දස්කමක් දක්වමින් සිව්වැන්නා ලෙස තරගය අවසන් කිරීමට සමත් වූ අතර එය ඇය මෙතෙක් එම ඉසව්ව සඳහා වාර්තා කළ හොඳම දස්කම වීම ද විශේෂත්වයක්.

ඇය එම ඉසව්වට අමතරව කාන්තා දුර පැනීමේ ඉසව්ව සඳහා ද සහභාගී වූ අතර එහි දී මීටර් 5.65ක දස්කමක් දැක්වූ ඇයට හිමි වුනේ අටවැනි ස්ථානයයි.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කරමින් කසුනි වික්‍රමසිංහ සහභාගී වූ අතර මිනිත්තු 2:20.52ක කාලයකින් තරගය අවසන් කළ ඇයට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

බාධක රැසකට මුහුණ දෙමින්  යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පිටියේ ඉහළ දස්කම් දක්වමින් ලක්මාතාවට ගෞරවයක් ගෙන දුන් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ThePapare.com උණුසුම් සුබ පැතුම්.

2023 පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල ඇතුළු මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<