සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18,000ක්

සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2023

192

CBL සමාගම හා අනුබද්ධිත සමාගමක් වන සමපෝෂ ආයතනයේ සවිබල ගැන්වීම යටතේ පැවැත්වෙන සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (10) පැවැත්වුණේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේයි.

මෙම මාධ්‍ය හමුව සඳහා සමපෝෂ ආයතනයේ විධායක නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂක උපාලි අමරතුංග මහතා, හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂක සුනිල් ජයවීර මහතා සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් පිරිසක් එක්ව සිටියා.

මෙවර සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල සඳහා පළාත් පහක් ආවරණය වන අතර මීට පෙර පැවති උතුරු මැද, ඌව, වයඹ, නැගෙනහිර යන පළාත් වලට අමතරව මෙවර නව පළාත ලෙස දකුණු පළාත තරගාවලියට එක් වෙනවා.

ඒ අනුව මෙවර සියලු පළාත් ආවරණය කරමින් පාසල් 650ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාව 18000ක් පමණ තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතව තිබෙන අතර ඉසව් 650ක් ආවරණය වෙනවා.

එමෙන්ම මෙවර තරගාවලියේ ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කුසලාන, සහතික පත්‍ර සහ පදක්කම් පිරිනැමීමට නියමිතයි.

මෙම ක්‍රීඩා උළෙල ගැන අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂක උපාලි අමරතුංග මහතා ප්‍රකාශ කළේ,

“අනාගත පරපුරේ කායික සහ මානසික සුවතාව ප්‍රවර්ධනය කරමින් දරුවන් ජාතික තලයට රැගෙන යාමට අවශ්‍ය කාර්යභාරය සිදු කිරීමට සමපෝෂ ආයතනය ලබා දෙන සහයෝගය ඇත්ත වශයෙන්ම අගය කරනවා.”

“දිනන දරුවෝ” සංකල්පය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් CBL ආහාර අංශයේ අලෙවි සාමාන්‍යාධිකාරී සචී ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ,

“සමාගමක් ලෙස මෙවැනි ක්‍රීඩා උළෙලවල් සංවිධානය කරමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම දැමීමට දායක වීම ඉමහත් සතුටක්.

අනාගත පරපුරේ කායික හා මානසික සුවතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව CBL සමපෝෂ පවත්වා ගෙන යන සමපෝෂ ‘දිනන දරුවෝ’ වැඩසටහන අප ආයතනයේ සමාජ සත්කාර පෙරදැරි කර ගත් වැඩසටහන් මාලවේ තවත් එක් අදියරක්.”

මෙවර තරගාවලිය ආරම්භ කරමින් වයඹ පළාත් තරග අගෝස්තු 15 සිට 18 දක්වා වෙන්නප්පුව ඇල්බර්ට් පීරිස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර සැප්තැම්බර් 01 සිට 04 දක්වා ඌව පළාත් තරග බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

එම දිනවලම දකුණු පළාත් තරග බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර සැප්තැම්බර් 19 සිට 23 දක්වා අවසන් අදියර ලෙස නැගෙනහිර පළාත් තරග පැවැත්වෙන්නේ කන්තලේ ලීලරත්න ක්‍රීඩාංගණයේ දීයි.

මෙම තරගාවලියේ දී එක් එක් පළාත් තරග ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබනවා.

දෙස් විදෙස් මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

2023 පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල ඇතුළු මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<