ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක්

ආසියානු ක්‍රීඩා උළෙල 2023

1043
Yupun Abeykoon Withdrawal from Asia Cup 2023

මෙම මාසයේ චීනයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී නොවීමට තීරණය කළ බව සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් තහවුරු කර සිටියා.  

යුපුන් මෙවර තරග වාරයේ ආරම්භක තරගයේ දී ම ආබාධයකට ලක් වූ අතර එම නිසාවෙන් ඔහුට මෙවර පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලි ඇතුළු ප්‍රධාන තරග රැසක් අහිමි වුනා. 

පසුව ඔහු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය යන තරගාවලි සඳහා සහභාගි නොවීමට තීරණය කළා.  

නමුත් ආසියානු ක්‍රීඩා උළෙලට සිය සහභාගී වීම පිළිබඳ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, ආබාධ තත්වය සහ තරගාවලියට සූදානම් වීමට ඇති කාලය සැලකිල්ලට ගනිමින් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි නොවීමට තීරණය කළ බවයි.  

“මේ වසර ආරම්භයේ දී අපගේ වර්ෂ අවසාන තරගය ලෙස ආසියානු ක්‍රීඩා උලෙළ ජයග්‍රහණය කිරීම ඉතා විශේෂ ලෙස සටහන්ව තිබූ කාරණයකි.  

ආබාධයෙන් පසුවත් සියලු තරග සැලසුම් වෙනස් කරමින් ඒ වෙනුවෙන් අපගේ සියලු ප්‍රතිකාර සහ පුහුණුවීම් ඒ වෙනුවෙන් සිදු කිරීම අප විසින් සිදු කරන ලද්දෙමු. අප ගිම්හාන තරගාවලි කාලසීමාවේ අවසානයට පැමිණ ඇත්තෙමු. 

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්ව ආරම්භයට දින 18කට පෙර, එනම් අද දින (11 Sep 2023) මාගේ අවසාන තත්ව පරීක්ෂාව සිදු කරන ලදි. නමුත් ආසියානු පදක්කමක් දිනා ගැනීම සඳහා වාර්තා කළ යුතු යැයි නිගමනය කළ හැකි කාලයන් (පෙර ආසියානු තරගාවලිවල පදක්කම් දිනා ගැනීමට වාර්තා කළ කාලයන්, සහභාගි වන ක්‍රීඩකයින්ගේ පෞද්ගලික හා වර්තමානයේ ඔවුන් වාර්තා කර ඇති කාලයන්) සියුම් ලෙස පරීක්ෂා කළ පසු මාගේ වර්තමාන කාලය, සෞඛ්‍ය‍ තත්වයේ සහ ඉදිරි දින 17 තුළ අපට ළඟා කර ගත හැකි සහ නොහැකි දේවල් සලකා බලා දීර්ඝ සාකච්ඡාවකින් පසුව මෙවර ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි නොවීමට තීරණය කළ බව ඉතා කනගාටුවෙන් ඔබ සියලු දෙනාට මින් දැනුම් දෙමි.” 

https://www.facebook.com/YupunSL/posts/pfbid0bmEkuVeRyJu4xDeMyqVJVtYB72hspzUmAHy5PDryEqV6D2ptMeWxYALLaCLeqnASl  

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන යුපුන් නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා.  

මෙවර ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ පදක්කමක් ජයග්‍රහණය කිරීමට යුපුන්ට ඉතා විශාල අවස්ථාවක් තිබූ අතර මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව සතු වූ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුව ඔහුයි. 

දිනෙන් දින උණුසුම් වන මලල ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<