වාර්තා හතරක් සමඟ ජෝන් ටාබට් ඇරඹෙයි

Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

673
Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

පාසල් මලල ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලියක් වන Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය අද (14) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

තරගාවලියේ පළමු දිනයේ තරගාවලි වාර්තා හතරක් බිඳ වැටුණු අතර ක්‍රීඩකයින් තිදෙනෙක් සහ එක් ක්‍රීඩිකාවක් එම වාර්තා පිහිටවූවා.

තරගාවලියේ පළමු තරගාවලි වාර්තාව පිහිටුවීමට තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරන කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ මලිත් යසිරු සමත් වූ අතර ඔහු දැක්වූ දස්කම් මීටර් 19.19ක්.

වයස අවුරුදු 18න් පහළ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 52.3ක කාලයකින් අවසන් කළ අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අයෝමාල් අකලංක ඉසව්වේ තරගාවලි වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ටී. මෙන්ඩිස් 18න් පහළ උස පැනීමේ ඉසව්වේ මීටර් දෙකක දස්කමක් දක්වමින් වාර්තාවක් පිහිටවූවා.

බාලිකා අංශයේ අද වාර්තා වූ එකම තරගාවලි වාර්තාව බිඳ හෙළීමට අඹගමුව මධ්‍ය මහා විද්‍යලායේ එස්. හිමාශනී සමත් වුනේ 18න් පහළ බාලිකා මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව මිනිත්තු 1.05.3ක කාලයකින් අවසන් කරමිනුයි.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ අයි. තෙන්නකෝන් මීටර් 57.22ක දස්කමක් දක්වමින් 16න් පහළ බාලක හෙල්ල විසි කිරීමේ ඉසව්ව ජයග්‍රහණය කළ අතර 20න් පහළ කවපෙත්ත විසි කිරීමේ ඉසව්ව මීටර් 43.96ක දුරක් වාර්තා කළ දේවපතිරාජ විද්‍යාලයේ ටී. උමේෂ් විසින් ජයග්‍රහණය කළා.

උදෑසන පැවති 20න් පහළ බාලක මීටර් 5000 ඉසව්ව මිනිත්තු 16:25.7ක කාලයකින් අවසන් කළ අඹගස්ගස්දූව ජනාධිපති විද්‍යාලයේ යූ. ඉමල්ෂ විසින් ජයග්‍රහණය කරද්දී, එහි බාලිකා තරගයේ ජයග්‍රහණය මිනිත්තු 19:14.3ක කාලයකින් ඉසව්ව අවසන් කළ එස්. ලක්ෂානි සතු වුනා.

18න් පහළ බාලිකා මීටර් 3000 ඉසව්වේ ජයග්‍රහණය හිමි වුනේ මිනිත්තු 10:42.1ක කාලයකින් තරගය අවසන් කළ ගම්පොළ වික්‍රමබාහු බාලිකා විද්‍යාලයේ ඩී. ප්‍රදීපනි හටයි.

>> තරගාවලියේ පළමු දින ප්‍රතිඵල සටහන <<

තරගාවලිය සැප්තැම්බර් 16 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<