දෝනිගේ සුපිරි IPL වාර්තා 4 අනතුරේ?

179

සැප්තැම්බර් 19 වැනිදා අබුඩාබි ක්‍රීඩාංගණයේ දී රෝහිත් ෂර්මාගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා මහේන්ද්‍ර සිං දෝනිගේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර තරගයෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

IPL සමාරම්භක දිනය මහේන්ද්‍ර සිං දෝනිගේ ක්‍රිකට් රසිකයින් සඳහා විශේෂ දිනයක් වනු ඇති අතර වත්මන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරයන් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පසුගිය වසරේ අනුශූරයන් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ මාස 6ක ප්‍රමාදයකින් පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2020 සංස්කරණය ආරම්භ කරනු ඇත. එපමණක් නොව ඒ සමඟ මහේන්ද්‍ර සිං දෝනි මාස 14කට පසු නැවත ක්‍රිකට් පිටියට පැමිණීමට ද නියමිතව ඇත.

මෙම වසරේ අගෝස්තු 15 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව මහේන්ද්‍ර සිං දෝනි නිල වශයෙන් නිවේදනය කළ අතර පසුගිය වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් පූර්ව වටයේ තරගයෙන් පසුව මහේන්ද්‍ර සිං දෝනි කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වී නොමැත.

තවත් ක්‍රිකට් පුවත්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වඩාත්ම සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මහේන්ද්‍ර සිං දෝනි හැඳින්වීම අතිශයෝක්තියක් නොවන අතර මාස 14ක දීර්ඝ විරාමයකින් අනතුරුව දෝනි යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන අවධානයක් දිනා ගනිමිනි.

ඊට එක් හේතුවක් ලෙස සඳහන් කර හැක්කේ දෝනි IPL ඉතිහාසය තුල සුවිශේෂි වාර්තා 4කට උරුමකම් කීමයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඉන්දීය පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව 

මහේන්ද්‍ර සිං දෝනි මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී හයේ පහර 209ක් එල්ල කර ඇති අතර වැඩි 6 පහර සංඛ්‍යාවක් ලබා ගත ඉන්දීය ක්‍රීඩකයින් අතරින් ඔහු අංක 1 ස්ථානයේ පසුවේ. 

තරගාවලිය තුල වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩක ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය මහේන්ද්‍ර සිං දෝනි හට හිමිව ඇති අතර ඔහුට වඩා හයේ පහර එල්ල කර ඇත්තේ ක්‍රිස් ගේල් (326) සහ ඒ. බී ඩිවිලියර්ස් (212) ය. එම ලැයිස්තුවේ දෝනිගේ ආසන්නතම තරගකරුවා වන්නේ මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ෂර්මා සහ සුරේෂ් රයිනා ය.  

ඔවුන් දෙදෙනාම මෙම තරගාවලියේ දී හයේ පහර 194 බැගින් එල්ල කර තිබේ. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාත් කෝලි හයේ පහර 190ක් වාර්තා කර ඇති අතර ඔහු එම ලැයිස්තුවේ අංක 6 ස්ථානයේ රැඳී සිටී.

නායකත්වය දැරූ වැඩිම තරග සංඛ්‍යාව 

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගී වූ මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි 10ක දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කළ අතර එක් තරගාවලියක දී රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමමේ නායකත්වය ද දැරීය. 

දෝනි සමස්ත ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුල තරග 174කට නායකත්වය සපයා තිබේ. 2017 වසරේ ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් විසින් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර එම තරගාවලියේ දී දෝනි කඩුලු රකින ක්‍රීඩකයා ලෙස කටයුතු කළේය. 

වැඩිම ජයග්‍රහණය ලබා ගත් නායකයා

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතා 3ක් දිනා ගත් දෝනි සමස්ත තරගාවලිය තුල තරග ජයග්‍රහණ 104ක් වාර්තා කර ඇත. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ තරග ජයග්‍රහණ 100ක් ලබා ගත් එකම නායකයා මහේන්ද්‍ර සිං දෝනි පමණි. තරගාවලියේ දෝනිගේ ජයග්‍රාහී ප්‍රතිශතය 60.11කි. අවම වශයෙන් තරග 50කට නායකත්වය සපයා ඇති නායකයන් අතරින් වැඩිම ජයග්‍රහණය ප්‍රතිශතය වාර්තා කර ඇත්තේ ද මහේන්ද්‍ර සිං දෝනි විසිනි.

වැඩිම දවාගැනීම් සංඛ්‍යාවක් සහිත කඩුලු රකින ක්‍රීඩකයා

කඩුලු රකින ක්‍රීඩකයෙකු ලෙස මහේන්ද්‍ර සිං දෝනි දවා ගැනීම් 132කට සිය දායකත්වය සපයා ඇත. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල ස්ටම්ප් කිරීම් 38ක් වාර්තා කිරීමට මහේන්ද්‍ර සිං දෝනි සමත්ව ඇති අතර එය ඕනෑම කඩුලු රකින්නෙකු විසින් වාර්තා කර ඇති වැඩිම ස්ටම්ප් කිරීම් සංඛ්‍යාව වේ. 

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මහේන්ද්‍ර සිං දෝනිගේ මේ වාර්තා බිඳ වැටෙයි ද? නැතිනම් ඔහු විසින්ම එම වාර්තා අලුත් කරයි ද? ඔබේ අදහස?

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<