සත්කාරකත්වය මාරු වූ ඇෆ්ගන්-පාකිස්තාන ගැටුම තවත් පස්සට

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය 2021

410
Pakistan-Afghanistan

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සූදානමින් සිටි තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට දෙරටේම ක්‍රිකට් පාලක මණ්ඩල ඔවුන්ගේ එකඟතාව පළකොට ඇති බව වාර්තා වේ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුල පාලනාධිකාරිය තම ග්‍රහණයට නතු කර  ගැනීමත් සමඟම එරට මේ වන විට දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව ඇති ආකාරය පසුගිය දින කිහිපය පුරාවටම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකොට ඇති අයුරු දැකගන්නට ලැබිණි. 

මෙවැනි ගැටලුකාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති මොහොතක දී තම ක්‍රීඩකයින්ට නිරවුල් මනසකින් තරග කිරීමට තරම් මානසික ශක්තියක් මේ වන විට නොමැති බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන්කොට තිබේ.

සැප්තැම්බර් 03 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තරගාවලියේ සත්කාරකත්වය පළමුවෙන්ම හිමි වී තිබුණේ ශ්‍රී ලංකාවට නමුත් පසුව ඇෆ්ගනිස්තාන සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල විසින් ඇති කර ගත් එකඟතාවයක් මත තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට තීරණය කෙරිණි.

තවත් ක්‍රිකට් පුවත්:

නමුත් ඉන්පසුව එදිනම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දී සිටියේ එරට පාලන තන්ත්‍රය තුල සිදු වූ අනපේක්ෂිත වෙනසත් සමඟම ක්‍රීඩකයින්ට නිදහස් මනසකින් ඔවුන්ගේ පුහුණුවීම් කටයුතුවල නියැලීමටවත් අවකාශයක් නොමැති නිසාවෙන් තරගාවලිය කල්දැමීම කාලෝචිත පියවරක් වනු ඇති බවයි. 

මේ වන විට කාබුල් ගුවන්තොටුපල සහ ඒ අවට ප්‍රදේශයට විශාල ජනකායක් ඒකරාශී වීමෙන් ඇති වී තිබෙන තදබදය නිසාවෙන් සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් සබඳතා තාවකාලිකව අත්හිටුවීමට ද කටයුතුකොට ඇති බව වාර්තා වේ.

“ක්‍රීඩකයින්ගේ මානසික සෞඛ්‍ය තත්වයට මෙම සිදුවීම් මාලාව දැඩි බලපෑමක් එල්ලකොට ඇති බවක් පෙන්නට තිබෙනවා. එම නිසාවෙන් තරගාවලිය කල්දැමීමට අපි යෝජනා කර සිටිනවා”, යනුවෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරි Hamid Shinwari මහතා සිය ස්ථාවරය  සඳහන් කර තිබුණි. 

නමුත් මින් ඉහත අවස්ථාවක දී එරට ක්‍රිකට් ක්‍රීඩාව සුපුරුදු පරිදි පවත්වා ගෙන යාමට තලේබාන් සංවිධානයෙන් කිසිදු බාධාවක් එල්ල නොවන බව ද ඒ මහතා පැහැදිලි ප්‍රකාශයක් ලබා දෙමින් පවසා සිටියේය.

මෙම තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන පාර්ශවය නියෝජනය කරමින් එරට ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂක Zakir Khan මහතා සඳහන්කොට සිටියේ 2022 වර්ෂයේ දී තරගාවලිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

“අපි ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයත් එක්ක දීර්ඝ කාලයක ඉඳන් ඉතාමත් හොඳ සබඳතාවක් ගොඩනඟා ගෙන සිටින නිසාවෙන් තවදුරටත් එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට ගත හැකි සෑම ක්‍රියාපිළිවෙතක්ම අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා. 2023 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගන්න මෙම තරගාවලියේ ප්‍රතිඵලය අතිශය තීරණාත්මක නිසා කෙසේ හෝ 2022 වර්ෂය තුල දී තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සියල්ලක්ම ගැනීමට කටයුතු කරනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<