ආදරවන්තයින්ගේ සටනේ 118 වැනි දිගහැරුම

රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයින්ගේ සටන

674
118th Lovers' Quarrel Match Preview

ගාල්ල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පාසල් ද්විත්වයක් වන රිච්මන්ඩ් සහ මහින්ද විද්‍යාල අතර පැවැත්වෙන ආදරවන්තයින්ගේ මහා සටනේ 118 වැනි අදියර මාර්තු 17 සහ 18 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගතයෙන් දෙවසරකට පසුව ප්‍රථම වරට ප්‍රේක්ෂකයින්ට සහභාගී විය හැකි මෙවර සංග්‍රාමය සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වෙතැයි අපේක්ෂා කෙරෙනවා.

2019 දී තවීෂ අභිෂේක්ගේ නායකත්වයෙන් රිච්මන්ඩ් විද්‍යාලය මහා සංග්‍රාමයක් ජයග්‍රහණය කර තිබෙනවා. මහින්ද විද්‍යාලය විසින් අවසන් වරට ආදරවන්තයින්ගේ මහා සටනක් ජයගෙන ඇත්තේ රජිත ප්‍රියාන්ගේ නායකත්වය යටතේයි. ඒ 2008 වසරේ දීයි.

තරින්ද නිර්මාල්ගේ නායකත්වය යටතේ රිච්මන්ඩ් විද්‍යාල කණ්ඩායම මෙවර මහා තරගයට අවතීර්ණ වන අතර සිව්වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් වන තරින්දගේ සිව්වැනි මහා තරගය මෙයයි.

2022/23 තරග වාරයේ දී රිච්මන්ඩ් ක්‍රීඩකයින් සහභාගී වුනු දෙදින තරග 13න්, තරග 5ක පූර්ණ ජයග්‍රහණ ලබා ගෙන තිබෙන අතර පළමු ඉනිමේ ජයග්‍රහණ 6ක් ද එයට ඇතුළත්. ඊට අමතරව තවත් තරගයක් කිසිදු ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබෙන අතර පළමු ඉනිමේ පරාජයක් ද ඊට ඇතුළත්.

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබා ගැනීමට ද රිච්මන්ඩ් කණ්ඩායම සමත් වුනා.

මෙම තරග වාරයේ ඔවුන්ගේ පිතිකරණ අංශය සවිමත් කරන 19 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක මුල්පෙළ පිතිකරු කවිඳු නිර්මාණ සිය තෙවැනි මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිනවා. ඔහු වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 500ක්.

අනෙක් පසින් මෙම තරග වාරය තුළ ලකුණු 400කට වැඩියෙන් ලබාගෙන තිබෙන පිතිකරුවන් ලෙස මහීෂ ද සිල්වා සහ ආරම්භක පිතිකරු තමිඳු ප්‍රදීප්ත හඳුන්වා දිය හැකි.

එසේම වමතින් දඟපන්දු යවන යූරි කොත්තිගොඩ මෙවර තරග වාරය තුල කඩුලු 48ක් දවාගෙන ඇත්තේ ඉනිමක දී ලකුණු 25කට කඩුලු 7ක් දවා ගැනීම සිය හොඳම පන්දු යැවීම ලෙස සටහන් කරගෙනයි.

තවද තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ලකුණු 350ක් සහ කඩුලු 46ක් දවාගෙන තිබෙන තරින්ද නිර්මාල් කණ්ඩායමට විශාල සේවයක් ලබා දෙන අතර, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කරන දකුණතින් පා දඟපන්දු යවන මල්ෂ තරුපති කඩුලු 40ක් දවාගෙන තිබෙනවා.

2012 වසරේ සිට කණ්ඩායම සමඟ සිටින අත්දැකීම් බහුල පුහුණුකරුවෙක් වන ලක්මාල් ද සිල්වා මහතා මෙවරත් රිච්මන්ඩ් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිත්වය දරන අතර උමාල් උදයංග මහතා සහ ලහිරු මදුවන්ත සහාය පුහුණුකරුවන් ලෙස කටයුතු කරනවා. නුවන් ජයසිංහ මහතා රිච්මන්ඩ් කණ්ඩායමේ ක්‍රිකට් භාර ආචාර්යවරයායි.

රිච්මන්ඩ් විද්‍යාලයීය මහා තරග සංචිතය: තරින්ද නිර්මාල් (නායක), කවිඳු නිර්මාණ, භානුක මනෝහර, ජනෙත් කෞෂාල් (කඩුලු රකින්නා), මහීෂ ද සිල්වා, මල්ෂ තරුපති, ශාරෝන් අභිෂේක්, තමිඳු ප්‍රදීප්ත, චෙහාන් සුබසිංහ, සිහත් රාමනායක, ඉමේෂ් ශශිඳු, කවීෂ ඉඳුවර, මනුජ දුල්නෙත්, යූරි කොත්තිගොඩ, සෙනෙත් සිසාන්, පුබුදු මිහිරංග, හේලිත් එදිරිසිංහ, මිනග ආරියදාස, නෙත්සර ආකාශ්, බෙවින් ජයවර්ධන

පස්වැනි වසරේ වර්ණලාභියෙකු වන ධනුජ ඉඳුවර මෙවර මහා තරගයේ දී මහින්ද කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. මෙය ඔහු ක්‍රීඩා කරනු ලබන සිව්වැනි මහා තරගයයි.

මහින්ද විද්‍යාලය මෙවර තරග වාරයේ දී තරග 11ක් ක්‍රීඩා කරමින් ආනන්ද විද්‍යාලයට එරෙහිව පූර්ණ තරග ජයග්‍රහණයක් සමඟ පළමු ඉනිමේ ජයග්‍රහණ 6ක් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව පළමු ඉනිමේ පරාජයක් සහ තීරණයක් රහිතව අවසන් වුනු තරග 2ක් මහින්ද විද්‍යාලයේ මෙවර වාර්තා පොත් අතර ඇතුළත්.

තරග 11ක දී ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 576කට අධික ප්‍රමාණයක් වාර්තා කරගෙන ඇති මුල්පෙළ දකුණත් පිතිකරු නායක ඉඳුවර මෙවර පාසල් ක්‍රිකට් තරග වාරය තුල මහින්ද විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වනවා.

එසේම මෙවර තරග වාරය තුල මහින්ද විද්‍යාලය වෙනුවෙන් ලකුණු 500 සීමාව ඉක්මවා ගිය පිතිකරු වන්නේ හිරුණ ගාල්ලගේයි. එසේම උප නායක දිනුර කළුපහන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතයේ සිටින නිසාවෙන් ඔහුට තරග රැසක් මඟ හැරුණු නමුත් ඔහු ක්‍රීඩා කළ තරග කිහිපය තුල වාර්තා කළ ලකුණු ගණන 144ක්.

ඊට අමතරව රන්මිණ හෙට්ටිආරච්චි සහ ප්‍රමේෂ් මදුභාෂණ ලකුණු 400කට වැඩියෙන් ලබාගෙන තිබෙනවා. මෙම තරගයේ ප්‍රතිඵලය සිය කණ්ඩායම දෙසට යොමු කර ගැනීමට නම් මෙම ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා මහින්ද විද්‍යාලයට ඉතාමත් වැදගත් සහ තීරණාත්මක වෙනවා.

තරග 11ක දී කඩුලු 32කට හිමිකම් කියන දකුණතින් පිට දඟපන්දු යවන තරුෂ ඩිල්ශාන් මෙවර තරග වාරය තුල මහින්ද විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහු දවා ගත් කඩුලු 32කට අමතරව ලකුණු 282ක් ලබාගෙන තිබෙනවා. දකුණතින් වේගපන්දු යවන ශෙහාන් හසරංග සහ වමතින් දඟපන්දු යවන අරෝෂ උදයංග පිළිවෙළින් කඩුලු 28ක් සහ කඩුලු 19ක් දවාගෙන තිබෙනවා.

තරංග මහරඹ මහතා මෙවර මහින්ද විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර සුලලිත් විජේතුංග කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස වගකීම දරනවා. Y.  නිශාන්ත කුමාර මහතා රිච්මන්ඩ් කණ්ඩායමේ ක්‍රිකට් භාර ආචාර්යවරයායි.

මහින්ද විද්‍යාලයීය මහා තරග සංචිතය:  ධනුජ ඉඳුවර (නායක), දිනුර කළුපහන (උප නායක), පසිඳු ලක්ෂාන්, හිරුන ගාල්ලගේ, කවීෂ ගිම්සර, දුලන රාජපක්ෂ, දෙනෙත් කෞශල්‍ය, චන්දුප ද සිල්වා, රන්මිණ හෙට්ටිආරච්චි, තරුෂ ඩිල්ශාන්, ප්‍රමේෂ් මදුභාෂණ, කවීන් රුක්ෂාන්, හරීන් අචින්ත, ශෙහාන් හසරංග, නිනුර දීලක, දුල්සිත් දර්ශන, අරෝෂ උදයංග, සේනුක දන්ගමුව, විනුප නෙත්මිර

මාර්තු 17 සහ 18 දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 118 වැනි ආදරවන්තයින්ගේ සටන පෙරවරු 9 සිට ThePapare.com, Dialog TV නාලිකා අංක 70 සහ Dialog Viu හරහා සජීව ලෙස නැරඹීම හැකියාව ඔබට සලසා දී තිබෙනවා.

මෙම සංග්‍රාමයේ සියලු විස්තර සවිස්තරාත්මකව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<