Messi මේනියාව සමඟ අහසින් පොළොවට පා තබන ආජන්ටිනාව

FIFA World Cup 2022

278

ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන භාණ්ඩ මිල සහ ආර්ථික අපහසුතාවයකින් ප්‍රබල පීඩාවකට ලක්ව සිටින දකුණු ඇමරිකානු රටේ ජනතාවට ආජන්ටිනාවේ පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය විසින් ප්‍රීතිය ගෙනැවිත් තිබෙන්නේ ඔවුන් උද්යෝගිමත් කරවමින් බව නොරහසක්.

සියයට 100 වෙත යමින් තිබෙන උද්ධමනය, දැඩි ප්‍රාග්ධන පාලනය, සියයට 40ක‌ට ආසන්න දුප්පත්කම සහ ණය ගෙවීම පැහැර හැරීම වැඩි වීමේ බිය ක්ෂිතිජයේ දිස්වෙද්දී, ආජන්ටිනාව දැන් ලෝක කුසලාන ජයග්‍රහණයෙන් බැබළුණු අහසේ සිට යථාර්ථය නමැති මහ පොළොවට පැමිණ තිබෙනවා.

දීර්ඝ කාලයක් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින අපට ලෝක කුසලානය අතිවිශාල සතුටක් ගෙන දුන්නා. නමුත් අපට ඉක්මනින් ම නැවත යථාර්ථයට පසුබැස දිනපතා තිබෙන අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවනවා,” මෙසේ පවසන්නේ ආජන්ටිනාවේ Buenos Aires අගනුවර වෙසෙන විශ්‍රාමික 86 හැවිරිදි  Gregorina Victorica.

1986 වසරේ ඩියෙගෝ මැරඩෝනා විසින් ලෝක පාපන්දු කුසලානය දිනා ගැනීමෙන් පසුව ප්‍රථම වතාවට Lionel Messi විසින් මෙහෙයවනු ලැබූ කණ්ඩායම කුසලානය දිනා ගැනීම ආර්ථිකය නිවැරදි මාවතකට ගෙන ඒමට වසර ගණනාවක්ම රටේ නායකයන්ට නොහැකි වීමෙන් ඉච්ඡා භංගත්වයට පත්ව සිටින ජනතාවට ලැබුණු ධෛර්යයේ එන්නතක්.

ජයග්‍රහණයේ ප්‍රීතියෙන් උන්මාදයට පත් මිලියන හතරක් පහක සෙනඟක් නගරයේ වීදිවලට බැසීම හේතුවෙන් Messi ඇතුළු ආජන්ටිනා කණ්ඩායම රැගත් විවෘත වහලයකින් යුත් බස් රථ පෙරෙට්ටුව අතරමග නතර කොට නගරය උඩින් යාම පිණිස ක්‍රීඩකයන් හෙලිකොප්ටරයකට මාරු කිරීමට පවා සිදු වුනා.

ලෝක පාපන්දු කුසලානය දිනා ගැනීමෙන් පසුව Messi ඔහුගේ බිරිඳ Antonella Roccuzzo සහ Mateo, Thiago, Ciro යන පුතුන් තිදෙනා සමඟ අසිරිමත් නත්තල සමරද්දී, Messi මේනියාවෙන් පෙළෙන ක්‍රීඩාලෝලීන් මෙසීගේ පච්චය කොටා ගැනීම පිණිස නගරවල පෝලිම් ගැසී සිටියා. මේ නිසා විශේෂයෙන් ආජන්ටිනාවේ පච්ච කොටන්නන්ට මේ නත්තල සරු වුනා.

මේ සමේ පච්ච කලාවේ වැඩි ම ඉල්ලුම තිබෙන්නේ ලෝක පාපන්දු කුසලානය සඳහායි. ඊළඟට Messi. ඊට පසුව ඉල්ලුම තිබෙන්නේ ප්‍රංශයට එරෙහි අවසාන මහා තරග ජයග්‍රහණයේ තීරණාත්මක භූමිකාවක යෙදුණු Emiliano Martinez ගෝල රකින්නාගේ පච්චයට.

ඊළඟ සති දෙකට ම මාව වෙන් කරවා ගෙන තියෙන්නේ විශේෂයෙන් ම ලෝක කුසලානය සම්බන්ධ පච්ච කොටා ගැනීම සඳහායි,” ආජන්ටිනා අගනුවර පච්ච කොටන්නෙකු වන Esteban Vucinovich පවසනවා.

සමහරු නයෙක් හෝ මිනිස් හිස් කබලක පච්චයක් කොටා ගැනීම සඳහා මගෙන් මීට කලින් කාලය වෙන් කරවා ගෙන තිබුණා. නමුත් එයාලා දැන් ඒක Messi හෝ ලෝක කුසලානයට වෙනස් කරගෙන තියෙනවා. මට දවසකට ‘එපොයින්මන්ට්’ දෙකක් හෝ තුනක් තියෙනවාමයි.”

ක්‍රීඩාලෝලීන් මෙසේ පච්ච කොටා ගැනීමකට පෙලඹීමට තවත් හේතුවක් වී තිබෙන්නේ අවසාන තරගයේ දී ආජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් ලබා ගත් Angel Di Maria ජයග්‍රහණයෙන් පසුව සිය දකුණු පාදයේ ලෝක කුසලාන පච්චයක් කොටා ගෙන සිටීම නිසා.

ලෝක කුසලාන ජයග්‍රහණයට ස්තුතිය පළ කිරීමේ සංකේතයක් ලෙසින් මම මෙසීගේ පච්චයක් කොටා ගත්තා,” යැයි සිවිල් සේවකයෙකු වන Nicolas Rechanik සඳහන් කරනවා.

මේ පච්චයෙන් නියෝජනය වන්නේ Messi පමණක් නෙවෙයි. අපට තුන්වැනි ලෝක පාපන්දු කුසලානය ගෙන ආ කණ්ඩායම වගේ ම ඒ ඉලක්කය කරා යාම පිණිස අවුරුදු ගණනාවක් දරපු මහන්සියත් එයින් පෙන්නුම් කෙරෙනවා.”

ආජන්ටිනා කණ්ඩායමේ නිල් සහ සුදු ඉරි සහිත කමිසය පැලඳ ලෝක කුසලානය සිප ගන්නා මෙසීගේ රූපය නොමැකෙන පරිදි තම වම් පාදයේ සලකුණු කර ගැනීමට පෙර Rechanik ආජන්ටිනා පාපන්දුවේ තවත් ප්‍රතිමූර්තියක් වන ඩියෙගෝ මැරඩෝනාගේ පච්චයක් කොටා ගෙන තිබුණා.

එය ආජන්ටිනා පාපන්දුව කුමක්ද යන්න සහ ආජන්ටියානුවෙක් වීමේ වැදගත්කම කදිමට නියෝජනය කරන පච්චයක්,” යැයි ඔහු ප්‍රකාශ කරනවා.

පාපන්දු ක්‍රීඩාවෙන් පිස්සු වැටී සිටින 20 හැවිරිදි Alma Ocampo පච්චයක් කොටා ගැනීමට තීරණය කළේ සියලු දෙනා මවිතයට පත් කරමින්

ආජන්ටිනාව ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ පළමු තරගයේ දී ම සෞදි අරාබියට පරාජය වූ අවස්ථාවේ දී.

ආජන්ටිනාව තරගාවලිය දිනුවොත් ලෝක කුසලානයේ පච්චයක් කොටා ගන්නා බවට මම තීරණය කළේ සෞදි අරාබියට පැරදී සියලු දෙනාට ම විශ්වාසය නැතිව තිබූ වෙලාවේ. මම ඒ වගේ ම කළා, දෙසැම්බර් 18, 2022 අවසාන තරගයේ දිනයත් එක්ක,” යනුවෙන් ඇය පැවසුවේ “පච්චෙ කොටනකොට හරියට රිදුණා” යැයි කියමින්.

ශාරීරික අධ්‍යාපන ගුරුවරයෙකු වන Ariel Sacchi කොටා ගෙන සිටින්නේ Messi ක්‍රීඩා කළ ලෝක කුසලාන තරගාවලි පහ ම නියෝජනය වන පච්චයක්. එහි මැද තිබෙන්නේ ආජන්ටිනා නායකයා කුසලානය සිප ගන්නා ප්‍රතිරූපයක්.

මම මෙසීගේ පච්චයක් කොටා ගැනීමට තීරණය කළේ සියලු ම ආජන්ටියානුවන්ට විශිෂ්ට ප්‍රීතියක් ගෙන ආවේ එයා නිසා,” යැයි Sacchi පවසනවා.

මෙසීගේ පච්චයක් කොටා ගැනීමට ක්‍රීඩාලෝලී ජනයාගේ තිබෙන උනන්දුව කෙසේ වෙතත්, මෙසීගේ ඇඟ පුරා තිබෙන්නේත් පච්ච. එහි මුළු සංඛ්‍යාව 18ක්.

පච්ච කොටා ගත් පළමු සුපිරි පාපන්දු ක්‍රීඩකයා Messi නොවුනත් මේ පුංචි විජ්ජාකාරයාගේ ශරීරය පච්ච කලාවේ සම්පත්තියක්.

තම දරුවන් තිදෙනාගේම නම් සඳහන්ව සිය වැඩිමල් පුතු Thiagoගේ අත් බාහුවේ තිබෙන සලකුණ මෙසීගේ අතේ පච්ච කොටා තිබෙනවා. දණෙන් පහළට තිබෙන්නේ දැන් ප්‍රසිද්ධ වී තිබෙන ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ මෙසීගේ අංකය මෙන් ම ඔහු Barcelona පාපන්දු සමාජ කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටිය දී අංකය වූ 10.

පාපන්දුව නමැති අලංකාර ක්‍රීඩාවට මෙසීගේ තිබෙන අසීමිත ආශාව සංකේතවත් කරන පාපන්දුවක් ද මෙසීගේ අතේ පෙනෙන්නට තිබෙනවා.

Lionel Messi සහ Antonela Roccuzzo ළමා වියේ පටන් පෙම්වතුන්. Messi ඇගේ ඇසේ පච්චය කොටා ගෙන තිබෙන්නේ දෙදෙනාගේ දිගු කාලීන ප්‍රේම කතාවේ සංකේතයක් ලෙසින්.

සිය බිරිඳ වෙනුවෙන් කැප වූ මෙසීගේ පච්ච එතැනින් අවසන් වෙන්නේ නැහැ. මෙසීගේ බඩේ පහළින් දිස්වන්නේ Antonelaගේ තොල්පෙතිවල පච්චයක්. එය කොටා තිබෙන්නේ ශරීරයේ රහස්‍ය ස්ථානයට ඉතාමත් කිට්ටුවෙන් නිසා Messi ඔහුගේ උඩුකය නිරාවරණය කරගෙන සිටින විට පවා ඒ තොල්පෙති පච්චය දිස්වන්නේ පෙනෙන නොපෙ‌නෙන ගාණට.

වර්තමානයේ ලොව වැඩියෙන් ම ජනප්‍රිය සහ වඩාත් ම කතාබහට පාදකව සිටින පුද්ගලයා වන්නේ Messi. ආජන්ටිනාව සමඟ ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව ඔහුගේ ජනප්‍රියත්වය අලුත් මට්ටමකට පැමිණ තිබෙනවා.

මෙසීගේ ජනප්‍රියත්වය අසීමිත අයුරින් ඉහළ නැග තිබිය දී අවාසනාවකට එහි අයහපත් තත්ත්වයක් ද උද්ගත තිබෙනවා.

ඔහු අද කොතරම් ජනප්‍රියව සිටිනවා ද කියතොත්, තමා සමඟ කිට්ටු වීමට වෙර දරන අතිවිශාල සෙනඟ කන්දරාව නිසා Messiට පාරට බැස නිදහසේ ගමනක් යාමට පවා නොහැකි වී තිබෙනවා. මෙසීගේ උපන් නගරය වන Rosario හි වෙසෙන ආජන්ටිනා පාපන්දු ලෝලීන්ට මෙසීව කොච්චර දැක්කත් මදි තරම්.

තමන්ට Rosario හි පදිංචිකරුවන් සමඟ මීට වඩා ප්‍රසිද්ධියේ ජයග්‍රහණය සැමරීමට නොහැකි වීම පිළිබඳව Messi මෑතක දී ඔවුන්ගෙන් සමාව අයැද සිටියා.

මෙසීගේ ජනප්‍රියත්වයේ වැඩි වීම කොතරම්ද  යත් ‘Messi කමිස’ සඳහා තිබෙන පෙර නොවූ විරූ ඉල්ලුම සපුරා ලීම ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ අනුග්‍රාහකයින් වන Adidasට ලොකු ගැටලුවක් වී තිබෙනවා.

ලොව පුරා තිබෙන Messi මේනියාව කොතරම් ප්‍රබල ද යත්, ඔහුගේ මුහුණ සහිත මුදල් නෝට්ටුවක් අච්චු ගසන බවට සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වුනා. එහෙත් එය සත්‍යයක් නොවන බව ආජන්ටිනා රජය ප්‍රකාශ කර තිබෙනවා.

ජයග්‍රාහී ලෝක කුසලාන ප්‍රමෝදයෙන් පසුව ආජන්ටිනානුවන් දැන් නැවත පොළොවට පා තබමින් සිටිනවා. ධාන්‍ය නිෂ්පාදනයේ ප්‍රධාන රටක් මෙන් ම වරක් ලොව ධනවත් ම දේශයක් බවට ද පත්ව සිටි ආජන්ටිනාවෙන් පසුගිය නොවැම්බරයේ දී 92.4% වාර්ෂික උද්ධමනයක් වාර්තා වී තිබුණා.

මුදල් නෝට්ටු අච්චු ගැසීම, කෘතිමව වටිනාකම වැඩි කරන ලද ආජන්ටිනාවේ පෙසෝ මුදල් වර්ගය සහ අඩු විදෙස් සංචිත සම්බන්ධ කාරණා උත්සන්න වෙමින් තිබෙනවා.

ආර්ථිකය නිසි මගට ගැනීම පිණිස පත් කරනු ලැබූ ආර්ථික ඇමති Sergio Massa ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාණවත් තරමින් ක්‍රියාත්මක නොකරන්නේ ලබන වසර අග භාගයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් රජය පරාජය වනු ඇතැයි යන බියෙන්.

කෙසේ වෙතත්, සර්වශුභවාදීව සිතන ආජන්ටියානුවන් ද සිටිනවා. Buenos Aires හි වෙළෙන්දෙකු වන 62 හැවිරිදි Osvaldo Hassan ඉන් කෙනෙක්.

ලෝක කුසලානය අපට බලාපොරොත්තුවක් සහ විශ්වාස කිරීමේ ආශාවක් ඇති කරනවා,” යනුවෙන් ඔහු පවසනවා. “පොදු එකඟත්වයක් ගොඩනගා ගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා අපට අවශ්‍යව තිබූ උත්තේජනය මේ ජයග්‍රහණය විය හැකියි.”

වැඩි සංචාරක ආකර්ෂණයක්, රැකියා නිර්මාණයක් සහ රටේ ගෝලීය ප්‍රතිරූපය ඉහළ නැංවීමක් සඳහා මේ ඉතිහාසගත ජයග්‍රහණය හොඳ තල්ලුවක් වනු ඇතැයි වෙළඳ ක්ෂේත්‍රයේ රැකියාව කරන 25 හැවිරිදි Camila Gotelli කියනවා.

ආර්ථික වෙනස්කම් එක රැයකින් සිදු නොවන බවත් ඒ සඳහා ආජන්ටිනාවේ පාපන්දු සංචිතය පමණක් නොව අනෙක් සියලු දෙනා ම දායක විය යුතු බවත් ප්‍රාථමික විදුහල් ගුරුවරියක වන 32 හැවිරිදි Maria Belen Pereyra ප්‍රකාශ කරනවා.

අපි මේ ජයග්‍රහණය සමරන්නේ එය අපි රටක් වශයෙන් නියෝජනය කෙරෙන නිසායි. නමුත් මෙය රටේ පුද්ගලයන් 30 දෙනෙකු විසින් පමණක් කළ කැප කිරීමක්. ආර්ථිකය වෙනස් වීමට නම් ආජන්ටිනාවේ අපි සියලු දෙනා ම ඊට දායක විය යුතුයි!”

අන්තර්ජාලය ඇසුරිනි

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<