T20 ලෝක කුසලානයේ දී අපිට හමුවෙන ප්‍රතිවාදීන්

ICC Men's T20 World Cup

86
ICC Men's T20 World Cup 2024

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් උණුසුම් උද්වේගකර තරග ආරම්භයට තවත් ඇත්තේ සතියක පමණ කාලයක් පමණයි.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී අපරාජිතව සිටිමින් ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ දී D කාණ්ඩයෙන් තරගාවලියට එක් වීමට නියමිතයි. ඒ අනුව ඔවුන්ට පළමු වටයේ දී දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තයට එරෙහි ව තරග වැදීමට නියමිතව තිබෙනවා.  

  • ජුනි 03: පෙරවරු 8.00ට, දකුණු අප්‍රිකාව සමඟ New York හි දී.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට හමුවෙන ප්‍රබලත ම ප්‍රතිවාදියා ලෙසින් සැලකිය හැකි කණ්ඩායම වන්නේ දකුණු අප්‍රිකාවයි.  

ඔවුන් මේ දක්වා වූ ලෝක කුසලාන ඉතිහාසයේ දී 2009 වසරේ දී සහ 2014 වසරේ දී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් ව සිටින අතර මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හී සිවු වැනි ස්ථානයේ රැදී සිටිනවා.  

දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසය ලියැවී ඇත්තේ තරග 176කිනුයි. එම තරග අතුරින් තරග 96ක් ඔවුන් ජයග්‍රහණය කරද්දී තරග 76ක් පරාජිත ලැයිස්තුවට එක් වෙනවා. නොවිසඳුණ තරග 3ක් සහ ලකුණු සම වීමෙන් නිමා වූ තරගයක් ද ඒ තුළ තිබෙනවා 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 17ක් පවත්වා ඇති අතර ඉන් තරග 11ක් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කිරීමට සමත් වෙන අතර ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්නට ලැබෙන්නේ තරග 5ක දී පමණයි. අනෙක් තරගය නිමා වී ඇත්තේ ලකුණු සම වීමෙනුයි. 

මෙවර ලෝක කුසලානයට එක් වෙන දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක දකුණත් පිතිකරු Aiden Markram වෙතයි. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 39කට එක් ව ඇති ඔහු අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1118ක් ලබා සිටින අතර ඉන් ලෝක කුසලාන තරග 10ක දී එකතු කර ගන්නා ලද ලකුණු 261ක් ද ඒ තුළ පවතිනවා.  

ඔහුත් සමඟින් දකුණු අප්‍රිකානු පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන්නට Quinton de Kock, David Miller, Reeza Hendricks සහ Heinrich Klaasen ද එක් වෙනවා. 

වඩාත් දක්ෂ පන්දු යවන්නෝ කිහිප දෙනෙක් ගෙන් යුත් දකුණු අප්‍රිකානු සංචිතයේ මේ දිනවල දක්ෂයන් අතර දක්ෂතාවන්ගෙන් අතර ප්‍රමුඛයා වී ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් වේග පන්දු යවන Gerald Coetzee.  

නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Mumbai Indians කණ්ඩායම සමඟ එක් වෙමින් පෑ දක්ෂතා ඔහුගේ මෙම වර්ගීකරණයට හේතු වී තිබෙනවා. ඔහු මෙවර තරගාවලියේ දී තරග 10ක දී කඩුලු 13ක් දවා ගැනීමට සමත් වෙනවා.  

ඔහුට අමතර ව දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස කඩුලු දවාගෙන සිටින Tabraiz Shamsi මාස 6කට පමණ පසුව ද සහ වසරකට පමණ පසුව දකුණු අප්‍රිකා කණ්ඩායම හා එක් වෙන Kagiso Rabada ගේ සේවය ද මෙම කණ්ඩායමට ලැබීමට නියමිතයි.  

දකුණු අප්‍රිකා විස්සයි විස්ස සංචිතය:  

Aiden Markram (නායක), Quinton de Kock (කඩුලු රකින්නා), Reeza Hendricks, Heinrich Klaasen (කඩුලු රකින්නා), David Miller, Ryan Rickelton (කඩුලු රකින්නා), Tristan Stubbs, Marco Jansen, Ottneil Baartman, Gerald Coetzee, Bjorn Fortuin, Keshav Maharaj, Anrich Nortje, Kagiso Rabada, Tabraiz Shamsi. 

  • ජුනි 08: පස්වරු 6.00ට, බංග්ලාදේශය සමඟ Dallas හි දී.

ලෝක කුසලාන තරගාවලියට පෙර තමන් මුහුණ දුන් අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග පිටියේ දී කෝඩුකාර ඇමෙරිකාව හමුවේ තරග 2-1ක් ලෙසින් පරාජය වූ බංග්ලාදේශය මෙවර තරගාවලියට ඉදිරිපත් වෙන්නේ 25 හැවිරිදි වියේ පසුවෙන වමත් ඉදිරි පෙළ පිතිකරු Najmul Hossain Shanto යටතේයි 

ඔහු මේ දක්වා බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 39කට එක් වෙමින් අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 796ක් ලබා තිබෙනවා.   

බංග්ලාදේශය මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 169කට එක් ව ඇති අතර ඒ අතුරින් තරග 65ක් ජයග්‍රහණය කරමින් ද, තරග 100ක් පරාජය වෙමින් ද සහ නොවිසඳුණ තරග 4ක් ලෙසින් ද අවසන් කර තිබෙනවා. 

ඔවුන් ලෝක කුසලාන ඉතිහාසයේ පැමිණි ඉහළ ම ස්ථානය වන්නේ 2007 වසරේ දී සුපිරි 8 වටය දක්වා පැමිණිම පමණයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා එක් ස්ථානයක් පහළිනුයි බංග්ලාදේශය රැදී සිටින්නේ. එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමි ව ඇත්තේ 8 වැනි ස්ථානයයි.  

බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් අතුරින් වඩාත් විශ්වාසවන්ත පිතිකරුවා බවට පත් ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවෙන දකුණත් ඉදිරි පෙළ පිතිකරු Towhid Hridoy. ඔහු මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 22කට සහභාගී වෙමින් ලකුණු 454ක් ලබා තිබෙනවා.  

ඔහු අවසන් ඉනිම් 10 දී  ලකුණු 263ක් ලබා 37.57ක සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වෙනවා. 

ඊට අමතර ව Mohammad Mahmudullah, Litton Das, Soumya Sarkar සහ Towhid Hridoy බංග්ලාදේශ පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන්නෝ ලෙසින් ප්‍රචලිතයි.  

කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පන්දු යවන්නා වී ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවෙන වමතින් මඳ වේග පන්දු යවන Mustafizur Rahman වෙතයි. ඔහු මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 96කට සහභාගී වෙමින් කඩුලු 120ක් දවාගෙන තිබෙනවා.  

ඔහුට අමතර ව බංග්ලාදේශ ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වන Shakib Al Hasan සමඟ උප නායක Taskin Ahmed සහ Shoriful Islam ද පන්දු යවන්නන්ගේ සංචිතය බලවත් කරන්නෝ ලෙසින් හැඳින්වෙනවා.  

බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතය:  

Najmul Hossain Shanto (නායක), Taskin Ahmed (උප නායක), Jaker Ali, Litton Das (කඩුලු රකින්නා), Tanzid Hasan, Towhid Hridoy, Mahedi Hasan, Mohammad Mahmudullah, Shakib Al Hasan, Soumya Sarkar, Mustafizur Rahman, Rishad  Hossain, Shoriful Islam, Tanvir Islam, Tanzim Hasan Sakib. 

  • ජුනි 12: පෙරවරු 5.00ට, නේපාලය සමඟ Lauderhill හි දී.

නේපාල කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් සඳහා එක් වෙන 2 වැනි අවසන් අවස්ථාව මෙයයි. ඔවුන් අවසන් වරට ලෝක කුසලානයක් එක් ව ඇත්තේ 2014 වසරේදීයි.  

නේපාල විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ මේ දක්වා තරග 85ක් ක්‍රීඩා කර ඇති අතර ඒ අතර ශ්‍රී ලංකාව සමඟින් එකඳු හෝ තරගයක් නැහැ.  

කෙසේ වෙතත් නිමා වූ එම තරග අතුරින් තරග 49ක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් ව තිබෙනවා. තරග 33ක් පරාජිත තරග ලෙසත්, තරග 2ක් නොවිසඳුණ තරග ලෙසත් සහ ලකුණු සම වීමෙන් අවසන් වූ තරගක් ලෙසත් අනෙක් තරග අවසන් ව තිබෙනවා.  

 වසර 10කට පසුව එක් වෙන නේපාල කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක පිතිකරු Rohit Paudel වෙතයි. ඔහු මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 49කට එක් වෙමින් අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1108ක් ලබා තිබෙනවා.  

කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පන්දු යවන්නා බවට පත් ව ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Abinash Bohara. ඔහු මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 59කට සහභාගී වෙමින් කඩුලු 74ක් ලබා තිබෙනවා.  

නේපාල විස්සයි විස්ස සංචිතය: 

Rohit Paudel (නායක), Aasif Sheikh (කඩුලු රකින්නා), Dipendra Singh Airee, Kushal Bhurtel, Sundeep Jora, Karan KC, Kushal Malla, Pratis GC, Anil Sah, Sompal Kami, Abinash Bohara, Gulsan Jha, Lalit Rajbanshi, Kamal Airee, Sagar Dhakal. 

  • ජුනි 17: පෙරවරු 6.00ට, නෙදර්ලන්තය සමඟ Gros Islet හි දී.

මෙම තරගය මෙවර තරගාවලියේ තරග 40කින් යුත් පළමු වටයේ තරග අතුරින් 38 වැනි තරගයයි. එය මෙරට අනුව ජුනි 17 වැනිදා පැවැතිය ද එරට අනුව මෙම තරගය පැවැත්වෙන්නේ ජුනි 16 වැනි දිනයේදීයි.  

නෙදර්ලන්තය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 107කට එක් ව ඇති අතර ඉන් තරග 53ක් ජයග්‍රහණය කරමින් අවසන් කරන ලද අතර තරග 48ක් පරාජය වී තිබෙනවා. අනෙක් තරග අතුරින් නොවිසඳුණ තරග 4ක් සහ ලකුණු සම වීමෙන් අවසන් වූ තරග 2ක් ලෙසින් මෙම එකතුව සෑදී තිබෙනවා.  

එම තරග අතුරින් නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව මේ දක්වා තරග 3කට එක් වී ඇති අතර එම තරග ත්‍රිත්වයේ ම ජයග්‍රහණ ලබා ඇත්තේ ශ්‍රී ලංකාවයි.  

කණ්ඩායමට නම් කරන ලද 15 දෙනෙක්ගෙන් යුත් සංචිතයේ නායකත්වයේ සේ ම කඩුලු රැකීමේ ද වගකීම පැවැරී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ උපත ලද මේ වන විට නෙදර්ලන්තය කණ්ඩායම හා එක් ව සිටින Scott Edwards වෙතයි.  

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග 56කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 671ක් ලබා සිටින අතර කඩුලු රකින්නෙක් ලෙසින් දවා ගැනීම් 53කට දායකත්වය දක්වා තිබෙනවා.  

කණ්ඩායමේ වඩාත් අවධානයට ලක් වෙන පිතිකරු බවට පත් වන්නේ 30 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක පිතිකරු Maxwell O’Dowd. ඔහු මේ දක්වා ලෝක කුසලාන තරග 11කට සහභාගී වෙමින් අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 365ක් ලබා සිටිනවා. ඒ අතුරින් ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් ව ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි ව 2022 වසරේ පැහැති ලෝක කුසලානයේ දී නොදැවී ලබා ගත් ලකුණු 71යි.  

එමෙන් ම මෙම ලැයිස්තුවට 40 හැවිරිදි වියේ පසුවෙන දකුණත් ඉදිරි පෙළ පිතිකරු Wesley Barresi ද එක් වෙනවා. ඔහු එරට වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 44කට ක්‍රීඩා කරමින් ලකුණු 804ක් ලබා සිටිනවා.  

පන්දු යවන්නන් අතුරින් නෙදර්ලන්ත කණ්ඩායමෙන් වඩාත් තර්ජනයක් විය හැකි පන්දු යවන්නා බවට සැලකෙන්නේ 31 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Paul van Meekeren. ඔහු මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 69ක් දවා ගනිමින් දක්ෂතා දක්වමින් සිටිනවා.  

කෙසේ වෙතත් යොවුන් ක්‍රීඩක 21 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන Aryan Dutt වෙත ද කණ්ඩායමේ විශ්වාසය රැදී තිබෙනවා.  

නෙදර්ලන්ත විස්සයි විස්ස සංචිතය:  

Scott Edwards (නායක / කඩුලු රකින්නා), Wesley Barresi, Michael Levitt, Max O’Dowd, Vikramjit Singh, Bas de Leede, Sybrand Engelbrecht, Teja Nidamanuru, Tim Pringle, Saqib Zulfiqar, Aryan Dutt, Vivian Kingma, Kyle Klein, Logan van Beek, Paul van Meekeren. 

9 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජුනි මස 02 වැනිදා ආරම්භ වීමට නියමිත අතර මෙම තරගාවලියේ, ඊට සහභාගී වන කණ්ඩායම් අතර පැවැත්වෙන පුහුණු තරග අද (27) සිට ආරම්භ වීමට නියමිතයි.  

එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය මේ මස 28 වැනිදා (හෙට) නෙදර්ලන්ත කණ්ඩායම සමඟත් සහ 30 වැනිදා අයර්ලන්තය සමඟත් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<