Pandyaගේ දැවී යාමට ලබා දුන් තීරණය විනිසුරුගේ වැරැද්දක් ද?

India vs New Zealand 2023

5627
​Hardik Pandya's

ඊයේ (18) නවසීලන්තය සමඟ පැවති පළමු එක්දින තරගයේ දී ඉන්දීය ක්‍රීඩක Hardik Pandyaව දැවී ගිය ක්‍රීඩකයකු ලෙස සලකා තුන්වැනි විනිසුරු විසින් ලබා දුන් තීරණය මතභේදකාරී එකක් වුනා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායමේ 40 වැනි පන්දුවාරයේ දී Daryl Mitchell විසින් යැවූ පන්දුවක් Pandyaගේ පිත්ත මග හැර කඩුලු රකින්නා අතට ඇදී ගිය අතර, ඒ මොහොතේ දී ම කඩුල්ලේ බේලයක් ද ගැලවුණ බව සංඥා කරමින් රතු එළියක් ද කඩුල්ලෙන් දැල්වුනා.

පසුව ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමට තෙවැනි විනිසුරුට අවස්ථාව ලැබුණු අතර ඔහු විසින් Pandya දැවී ගිය ක්‍රීඩකයකු ලෙස තීරණය කළා.

තෙවැනි විනිසුරු විසින් එම තීරණය ලබා දෙන්නේ පන්දුව කඩුලු රකින්නා අතට යාමට පෙර කඩුල්ලේ වැදී ගිය බවට සලකා වුනත්, මේ තීරණයට එකඟ නොවන පිරිස විසින් පවසන්නේ පන්දුව කඩුල්ලේ නොවදින බවත්, එය නවසීලන්ත කඩුලු රකින්නාගේ (Tom Latham) අතට ගිය පසු කඩුල්ලේ බේලය ඉවත් වන බව‍යි.

තෙවැනි විනිසුරු විසින් ද එම සිදු වීම කිහිප වරක් ම නිරීක්ෂණය කළ මුත්, කිසිදු පැහැදිලි සාක්ෂියක් නො තිබීම Pandyaගේ අවාසියට හේතු වූ බව තවත් පිරිසකගේ විශ්වාසයයි.

නමුත් ඒ මොහොතේ තරගයේ විස්තර විචාරයේ නිරත ව සිටි Ravi Shastri එකෙනෙහිම අවධාරණය කළේ එම තීරණය පිති කරුවාට අවාසි දායක අන්දමේ එකක් බවයි.

“ඔහ්, එය දැවී යාමක් ලෙස සටහන් කරලා. Daryl Mitchell සතුටු විය යුතුයි, ගොඩක් සතුටු විය යුතුයි. මොකද ඔබ නැවත බැලුවොත් පෙනේ වී පන්දුව කඩුල්ල පසු කර යද්දී කඩුලු රකින්නාගේ ග්ලවුස් කොහේ ද, පන්දුව කොහේ ද තියෙන්නේ කියලා. පන්දුව අවම වශයෙන් කඩුල්ලට වඩා අඟලක්, අඟල් එක හමාරක් පමණ උඩින් තියෙන්නේ. පන්දුව පැහැදිලිව ම බේලයට ඉහළින් තියෙන බව පේනවා. ඔබට පේනවා ඇති පන්දුව අත්වැසුම තුලට යද්දී රතු එලිය දැල්වෙන්නේ නැහැ, එයින් පස්සෙයි රතු එලිය දැල්වෙන්නේ.”

එමෙන්ම එම සිදුවීමෙන් පසුව සමාජ මාධ්‍ය ජලා හරහා අදහස් දක්වමින් ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin සහ හිටපු ක්‍රීඩක Wasim Jaffar යන දෙදෙනා ද මෙම තීරණය විවේචනය කර තිබුණා.

ඒ වන විට පන්දු 38කින් ලකුණු 28ක් රැස් කර සිටි Hardik Pandyaට පිටියෙන් ඉවත් වී යාමට සිදු වුනත්, ඉන්දීය ආරම්භක පිතිකරු Shubman Gill විසින් දිගින් දිගටම පිටියේ රැඳී සිටිමින් රැස් කළ ද්විත්ව ශතකය නිසා ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 349ක් රැස් කිරීමට සමත් වුනා.

ලකුණු 350ක දැවැන්ත අභියෝගයක් හඹා ගිය නවසීලන්තය එක් අවස්ථාවක ලකුණු 131කට කඩුලු 6ක් දැවී සිටියත්, ඒ මොහොතේ පිටියේ එක් වූ Michael Bracewell සහ Michael Santner විසින් පැවැත්වූ ලකුණු 162ක දැවැන්ත සම්බන්ධතාව නිසා නවසීලන්තයට ලකුණු 12ක තියුණු සහ ගෞරවනීය පරාජයක් උරුම වුනා.

තරගයේ අවසන් පන්දුවාර තෙක් නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් සටනේ නිරත වුන Bracewell ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී යද්දී ඔහු පන්දු 78කින් ලකුණු 140ක් රැස් කර ගැනීමට සමත් වී තිබුණා.

  • ඉන්දියාව: 349/8 (50) – Shubman Gill 208; Daryl Mitchell 2-30, Henry Shipley 2-74
  • නවසීලන්තය: 337/10 (49.2) – Michael Bracewell 140, Mitchell Santner 57; Mohammed Siraj 4-46

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<