Rohit විසින් දසුන්ට ශතකය ලබා ගන්න ඉඩ දීම Ashwinට බරපතළ මට්ටමේ ගැටලුවක් වෙලා!

India vs Sri Lanka 2023

8446

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ලකුණු 98ක් ලබා සිටිය දී මන්කාද් කිරීමකින් දුවද්දී දවා ගැනීමට Mohommad Shami විසින් කළ ඉල්ලීම ඉන්දීය නායක Rohit Sharma විසින් ඉල්ලා අස්කර ගත් අතර, ඉන්දීය දඟපන්දු යවන Ravichandran Ashwin විසින් Rohitගේ මෙම ක්‍රියාව විවේචනය කර තිබෙනවා.

පසුගිය 10 වැනිදා පැවැත්වුණු මෙම තරගයේ පළමුවෙන් ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම Virat Kohli විසින් රැස් කළ අගනා ශතකයත් සමඟින් ලකුණු 373ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ඉනිම අවසානයේ ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 308ක් පමණයි.

මෙහි දී ශ්‍රී ලංකාව ගෞරවනීය පරාජයක් වෙත කැඳවා යාමට සමත් වූ නායක දසුන් ශානක නොදැවී ලකුණු 108ක් රැස් කිරීමට සමත් වූ අතර, තරගයේ අවසන් පන්දුවාරයේ දී Mohommad Shami විසින් ඔහුව දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට උත්සාහ කිරීම සහ පසුව Rohit Sharma විසින් එම ඉල්ලීම ඉවත් කර ගැනීම පිළිබඳව තරගයෙන් අනතුරුව වැඩි වශයෙන් කතාබහට ලක්වුනා.

මේ සිදුවීම පිළිබඳව මන්කාද් දවා ගැනීම් නිසා වැඩි වශයෙන් කතාබහට ලක් වන ක්‍රීඩකයකු වන ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පිට දඟපන්දු යවන්නා Ravichandran Ashwin විසින් සිය අදහස් තරමක් විවේචනාත්මකව දක්වා තිබෙනවා.

ඔහු පවසා සිටින්නේ එම දවා ගැනීම නීත්‍යනුකූල එකක් බවත්, කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු කිරීමට හෝ උඩ පන්දුවක් රැක ගැනීමක් වෙනුවෙන් කරන ඉල්ලීමක දී කණ්ඩායම් නායකයා සමඟ එක් වී තීරණයක් ගෙන එම ඉල්ලීම් නොකරන බවයි.

“ඇත්තටම, ශානක ලකුණු 98 සිටින වෙලාවේ Shami විසින් ඔහුව දුවද්දී දවා ගැනීමකට හසුකර ගත්තා සහ ඔහු ඒ වෙනුවෙන් විනිසුරුගෙන් ඉල්ලීමකුත් (appeal) කළා. Rohit ඒ ඉල්ලීම ඉවත් කර ගත්තා. ඉතින් ගොඩ දෙනෙක් ඒ එක්කම ඒක ගැන tweet කළා. මම දිගින් දිගටම එකම දෙයයි කියන්නේ. තරගයේ අවස්ථාව මොකක්ද කියන එක වැදගත් නැහැ. ඒක නීත්‍යානුකූල දැවී යාමක්.

ඒ වගේම ඔබ කඩුල්ල මුවා කිරීමේ අවස්ථාවක් වෙනුවෙන් හෝ උඩ පන්දුවක් රැක ගැනීම වෙනුවෙන් ඉල්ලීමක් කරද්දී කවුරුවත් කණ්ඩායම් නායකයා ගැන පරීක්ෂා කර කර ඉන්නේ නැහැ හරියට Amitabh Bachchan හෝ Sarath Kumar, Kau Benega Crorepati (ඉන්දීය නළුවන් දෙදෙනෙකුගේ නම් සඳහන් කරමින් ඔවුන් විසින් මෙහෙයවූ Who wants to be a millionaire වැඩසටහනේ ඉන්දියානු ආකෘතික වැඩසටහන සිහියට නංවයි.) වැඩසටහනේ දී කරනවා වගේ.

පන්දු යවන්නා ඉල්ලීමක් කළොත් ඔවුන් දැවී යාම ලබා දෙනවා සහ ඒක එතැනින් ඉවරයි. බලන්න, අඩුම තරමේ එක පන්දු රකින්නෙක් හරි ඉල්ලීමක් කරනවා නම් විනිසුරුගේ වගකීම තමයි පිතිකරුවා දැවී ගියා නම් ඒ බව ප්‍රකාශ කිරීම.”

මේ සිදුවීම පිළිබඳ ව Ashwinගේ පැහැදිලි කිරීම එතැනින් නතර වෙන්නේ ද නැහැ, ඔහු තවදුරටත් මෙහි ගැඹුරටම කිමිදෙමින් මෙවැනි සිදුවීමක් පිතිකරුවාගේ කෝණයෙන් විග්‍රහ කරන්නත් උත්සාහ කරනවා.

එහි දී ඔහු අවධාරණය කරන්නේ, පිතිකරුවකු දැවී යාමක දී ස්වකැමැත්තෙන් ම පිටියෙන් ඉවත් වන විට ඔහුගේ නායකයා හෝ කණ්ඩායම විසින් ඔහුට නැවත පිතිකරනයේ යෙදීමට නොපවසන බවයි.

“මෙවැනි දැවී යාම් වටා මේ තරම් තහනම් කිරීම් තියෙන්නේ ඇයි කියන එක මට පුදුමයක්. සම්පූර්ණ දැවී යාම ම පන්දු යවන්නා කරන දේ මත නේද රැඳී පවතින්නේ? එහෙනම් ඒ දැවී යාම ගැන හෝ ඒ පිළිබඳව ඉල්ලීමක් කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ පන්දු යවන්නාට නේද?

බොහෝ තරගවල දී පිතිකරුවා දැවී යාමක් බව දන්නවා නම් විනිසුරු තීරණය ලැබෙන්නත් පෙර පිටියෙන් ඉවත් වෙලා යනවා. ඒ වෙලාවේ දී කණ්ඩායම් නායකයා ඇවිත් අහන්නේ නැහැනේ ‘කාගේ අවසරයකින් ද ඔබ ඒ විදිහට යන්නේ. ඔබට අමතක ද කණ්ඩායමේ අවශ්‍යතාව, ගිහින් ආයෙත් දිගටම ක්‍රීඩා කරන්න’ කියලා.

ඉතින් පන්දු යවන්නට සහ පිතිකරුවන්ට මේ විදිහට දෙවිදිහට සැලකීම වසර ගණනාවක සිටම සිදු වෙන දෙයක්.”

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<